Friday, January 4, 2013

thripitakaya wenas welada?

                                                              ත්‍රිපිටකය වෙනස් වෙලාද?

අන්වර් කියන විදිහට ත්‍රිපිටකයේ තියෙන්නේ බුද්ධ භාෂියතය නොවේ. පළමු හේතුව වශයෙන් පෙන්නා දෙන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කරලා තියෙන්නේ බුදුන් වහන්සේ ජීවත්ව සිටි කාලයේම නොවීම. දෙවෙනි   හේතුව වශයෙන් පෙන්නා දෙන්නේ  පළමු ධර්ම සංගායනාවෙන් පසුව සකස් උනත්‍රිපිටකය   භික්ෂුන් වහන්සේලා විසින් කටපාඩමෙන්  ඉදිරියට ගෙන ආ බැවින් මුලික  බුද්ධ භාෂියතය වෙනස් වීමට ඉඩ තිබුන බව. තුන්වෙනි   හේතුව වශයෙන් පෙන්නා දෙන්නේ   ත්‍රිපිටකය කටපාඩමෙන් ඉදිරියට ගෙන ආ භික්ෂුන් වහන්සේලාගේ  අදහස් ත්‍රිපිටකයේ  අන්තර්ගතය තුලට ඇතුලත් වීමට ඉඩ තිබුන බව. මේ ඔක්කොම කියන ගමන් අන්වර් කියන්නේ කුරානය නම් එහෙම එකක් නොවේ.එය කෙලින්ම් අල්ලාගේ නිෂ්පාදනයක්   වන බැවින් එය කිසිම විදියකින් වෙනස් වීමට භාජන නොවුන ශුද්ධ ලියවිල්ලක් බවය.  නමුත්ත්‍රිපිටකය එහෙම එකක් නොවන එහි අන්තර්ගතයේ වටිනාකමක් නැති බවත්ය.
 මෙම ප්‍රකාශයට මා  පිළිතුරු ලිව්වත් පුරුදු විදියට  අන්වර් එක පල නොකළේ එයින් ඔහුගේ තර්කය බිඳ වැටෙන නිසා. ත්‍රිපිටකය සකස් උන ආකාරය පිළිබඳව ම ලියු පිළිතුරට වඩා සැබවින්ම අංගසම්පුර්ණ ලිපියක් අන්තර්ජාලයෙන් මට දකින්නට ලැබුනා. එනිසා එම ලිපිය මෙතැන් සිට ඉදිරිපත් කරනවා. මෙම ලිපිය ලියල තියෙන්නේ - සසිත් රාජසූරිය     මහත්මයා. පල උනේ  lanka c news link එකේ email ලිපිනය නැති නිසා මගේ උපුටා ගැනීම ඒ අයට දන්වන්න විදියක් නෑ.

අද තිබෙන ත්‍රිපිටකය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්ගෙන්ම (ප්‍රධාන වශයෙන්) සමන්විත නිවැරදි ථෙරවාද ත්‍රිපිටකය බවට කරුණු.


භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තෙමසකින්, ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයෙහි තෘතීය ශ්‍රාවක වූ, මහෝත්තම වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර, සසුනෙහි ධුතාංගධාරීන් අතරින් අග තැන්පත් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේත් මහෝත්තම වූ, අභිඥා ලාභීන් අතර අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර අනුරුද්ධ මහා රහතන් වහන්සේගේත් ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවති බව අපි දනිමු. එහිදී මහෝත්තම වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘති ශක්තිය ඇත්තන් අතරින්ද, සිහි නුවණ ඇත්තන් අතරින්ද අග්‍ර වූ ධර්ම භාණ්ඩාගාරික වූ, අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහා රහතන් වහන්සේත්, මහෝත්තම වූ විනය ධරයන් අතරින් අග්‍ර වූ උපාලි මහා රහතන් වහන්සේත්  භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් ඒ අයුරින්ම දේශනා කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ තැන දේශනා කරන ලද සියලු ධර්මය නැවත සංක්ෂිප්ත වශයෙන් ආනන්ද මහා රහතන් වහන්සේට දේශනා කොට තිබුන බව අපි මතක තබා ගත යුතුයි. තවද, මෙහිදී ධර්ම සංගායනාවට ඒ වන විට වැඩ සිටි ශ්‍රී ගෞතම බුදු සසුනෙහි මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළුව මහෝත්තම වූ, සිව්පිළිසිඹියාපත් මහා රහතන් වහන්සේලා පන්සීය නමක් සහභාගී වූ බව සඳහන් කල යුතුයි. මෙහිදී පැහැදිලිවම  සූත්‍ර, අභිධර්ම සහ විනය යන පිටක තුනම සංගායනා වූ බවට පැහැදිලි සාක්ෂි තිබේ. සමහරෙක් අභිධර්ම පිටකය සංගායනා වීම පිළිබඳව ප්‍රශ්න නැගුවත් අභිධර්මය සම්බුද්ධ භාෂිතයක් බවට ඉතාම නිරවුල් සාක්ෂි ඇත.. (අභිධර්ම පිටකය පිළිබඳව විග්‍රහයක් වෙනම ලිපියකින් සිදු කල යුතුය).

පලමු සංගායනාවෙන් සංගායනා කල අත්‍යුත්තම ත්‍රිපිටකය ඒ අයුරින්ම අපට දායාද වූ අයුරු දැනගනිමු.

සම්බුද්ධ පරිනිර්වාණය වන විට සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාද, රාහුල මහා රහතන් වහන්සේ ඇතුළු අසූ මහා ශ්‍රාවකයන් අතරින් බොහෝ නමක්ද  පිරිනිවන්පා තිබිණි. මහෝත්තම වූ මහාකාශ්‍යප, අනුරුද්ධ, උපාලි, ආනන්ද ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකින් පළමු ධර්ම සංගායනාව පවත්වන ලදුව බොහෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් සිය දහස් ගණනින් ශිෂ්‍ය සංඝයා වහන්සේලා හට ත්‍රිපිටක ධර්මය උගන්වා තිබිණ. මහෝත්තම අග්‍රශ්‍රාවක වූ ධම්ම සේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව විශේෂයෙන් අභිධර්ම පිටකය විශේෂ කොට ත්‍රිපිටක ධර්මය උගෙන තිබිණ. මේ අතරින් පෙර දක්වන ලද උපාලි මහා රහතන් වහන්සේ ගණනය කල නොහැකි තරම් මහත් වූ ශිෂ්‍ය පිරිසකට ත්‍රිපිටක ධර්මය උගැන්වූ බව දක්වා තිබේ. උන්වහන්සේගේ මහත් වූ ශිෂ්‍ය පිරිසෙන් අග්‍ර වූ මහරහතන් වහන්සේලා දහසකට මූලික වූ “දාසක මහා රහතන් වහන්සේ” විශේෂයෙන් උන්වහන්සේගෙන් පසුව ශිෂ්‍ය පරම්පරාවට පළමු ධර්ම සංගායනාව පරිදිම ත්‍රිපිටක ධර්මය උගන්වා ඇත. එම ශිෂ්‍ය පරම්පරාවේ මූලිකයා වූ “සෝණක මහා රහතන් වහන්සේ” විසින් තමන් වෙත පැමිණ පන්සියයක් පිරිස සමග පැවිදි වූ “සිග්ගව සහ චණ්ඩවග්ගී” යන ශිෂ්‍ය රහතන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මය උගන්වා පරිපූර්ණ කොට ඇත. මේ වන විට සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ඉක්මී තිබිණඑකල භාග්‍යවතුන් වහන්සේ සියැසින් දුටු උත්තම ශ්‍රාවකයෝ අට දෙනෙක් වැඩ වාසය කරන ලද අතර ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ රේවත මහා රහතන් වහන්සේ ඉන් ප්‍රධාන විය. දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට මූලික වූයේද මෙම රේවත මහරහතන් වහන්සේය.  එවකට ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයෙහි වැඩසිටි ජ්‍යෙෂ්ඨයා ලෙස මතු බුදු සසුනෙහි ආරක්ෂාව පිරික්සන උන් වහන්සේ නැවත තෙවන ධර්ම සංගායනාවක් පැවැත්වෙන කාලය උතුම් වූ නුවණින් විමසා බලන්නේ එය සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයේදී සිදු වන බව දැන, මතු සසුනේ දියුණුව සලකමින් එම ධර්ම සංගායනාව පැවැත්වීමට සුදුස්සා විමසා බැලූ සේක. එවිට මහත් පින් ඇති ධර්මාවබෝධයට සරිලන නුවණ ඇති බ්‍රහ්ම ලෝකයෙහි වසන ආයු‍ෂ පිරිහුණු “තිස්ස” නම් බ්‍රහ්මයෙක් දැක බඹ ලොවට වැඩ බුදුසසුනේ චිරස්ථිතිය පිණිස මනු ලොව උපදින්නට ආරාධනා කරනලදී. තවද මැනවින් විමසා, බලා පෙර සඳහන් කරන ලද උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පවත එන සිග්ගව, චණ්ඩවග්ගී යන මහරහතන් වහන්සේලා වෙත එළඹ, තිස්ස බ්‍රහ්මයා මනුලොව ඉපදීමෙන් පසුව උන්වහන්සේ පැවිදි කොට උතුම් වූ ත්‍රිපිටක ධර්මය ඉගැන්වීමට භාර කරන ලදී.

තුන්වන ධර්ම සංගායනාවට මුල් වූ උත්තම වූ, “මොග්ගලීපුත්ත තිස්ස” මහරහතන් වහන්සේ යනු එම තිස්ස බ්‍රහ්මයාය. උන්වහන්සේගේ චරිත කථාව ශාසන ඉතිහාසය දනු කැමති පින්වත් පිරිස කියවා බලන්නේ නම් මැනවි. තවද චණ්ඩාශෝක අධිරාජ්‍යයාගේ සිත පහන් කොට ධර්මාශෝක බවට පෙරලීමට මුල් වූ “නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ” මෙම මොග්ගලී පුත්තතිස්ස තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය නමකි. තවද සිංහල අපට අනුබුදු වූ, අප කෙරෙහි මහත් කරුණාවෙන් අප දිවයිනට පැමිණ බුදුසසුන පිහිටවා මුළුමහත් ජාතියත් ශිෂ්ටාචාරයත් සම්බුදු දහමින් සුවපත් කල, උත්තම වූ මිහිඳු මහරහතන් වහන්සේ වූ කලී මෙම මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානම ශිෂ්‍ය රත්නයකි. අපට උතුම් සද්ධර්මය ලැබුනේ උන්වහන්සේගෙනි. තෙවන ධර්ම සංගායනාවෙන් පසු ලොව පුරා ධර්ම ප්‍රචාරය කරවීමට සැලසූ ධර්මාශෝක රාජ්‍ය සමයෙන් පසුවද තවත් වසර සිය ගණනක් දඹදිව බුදුසසුන විරාජමානව පැවතිණි. ග්‍රීසියේ මිලිඳු (මිලැන්ඩර් නමින් හඳුනාගෙන ඇති) රජු සමග දාර්ශනික ධර්ම සංවාදයක් කල “නාගසේන” නම් උතුම් වූ මහරහතන් වහන්සේ පවා දඹදිව වැඩ සිටියේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයකටත් පසුවය. ලොව පුරා දේශයන්හි බුදුසසුන මෙසේ මැනවින් පැතිර බොහෝ මහරහතන් වහන්සේලා වැඩ සිටියදී මිහිදු මහා රහතන් වහන්සේගෙන් පසුව ඉතා ශීඝ්‍රයෙන් ලංකාවේද බුදු සසුන මුල් බැසගෙන පැතිර ගියේය. ලක්දිව උතුම් වූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කරන්නට යෙදුනේ මෙලෙස දඹදිව පවා මහරහතන් වහන්සේලා වැඩ සිටි මැනවින් බුදුසසුන ප්‍රචලිතව පැවති බුද්ධ වර්ෂ (456) හාරසිය පනස් හයේ දීය.  එනිසා වර්තමානයේ අප සතුව පවතින නිර්මල ත්‍රිපිටක ධර්මය පිළිබඳව සැක කරන්නට කිසිදු සාධාරණ කරුණක් නැත්තේමය. තවද ධර්මාශෝක රජතුමා ලංකාවට මෙන්ම පෙරදිග කෙලවරින් ග්‍රීසිය ආදී බටහිර රටවල් දක්වාම ධර්ම ප්‍රචාර කටයුතු කල බවට සාධක තිබේ. අද ථෙරවාද ධර්මයේ ප්‍රාමාණික ග්‍රන්ථාවලිය (නිවැරදිම සහ ප්‍රධානම) ලෙස සැලකෙන්නේ මෙසේ ග්‍රන්ථාරූඪ කරන ලදුව රැකගෙන ආ ත්‍රිපිටකයයි. “ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය” නමින් ක්‍රිස්තු වර්ෂ 1956, නොහොත් 2500 බුද්ධ ජයන්ති  වර්ෂයේදී යෝජනා කොට සිංහල පරිවර්තනය සහිතව පාලි ත්‍රිපිටකය මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කොට මේ වන විට එය අප අතට පත් වී ඇත. එම කටයුත්ත සිදු කරන ලද්දේ පුළුල් ධර්මධර සංඝ මණ්ඩලයක් විසින් ලංකාවේ, බුරුමයේ, තායිලන්තයේ සහ ඉන්දියාවේ රැකගෙන ආ ත්‍රිපිටක තල් පත්‍ර පිටපත් මැනවින් සංසන්දනය කරමිනි. එම පිටපත් කොතරම් නිවැරදිද කිවහොත් එකී බුරුම තායි පිටපත් සහ ලංකාවේ පිටපත් මැනවින් එකිනෙකට සමානව දක්නට තිබිණ. සමහර සූත්‍ර වල ඉතාම සුළු වශයෙන් වචනයක ඉස්පිල්ලක, පාපිල්ලක, වචනයක කොටසක ආදී වශයෙන් අරුතට හානි නොවන දුලබ වෙනස්කමක් හැරුනුකොට නියම පාලි ත්‍රිපිටකය නොවෙනස්ව මනාව ආරක්ෂා වී තිබිණ. වසර දහස් ගණනක් තිස්සේ ථෙරවාදී සංඝ පරම්පරාව මා වැන්නෙකුට වචනයෙන් කිසිසේත්ම කිව නොහැකි තරම් මහත් පරිශ්‍රමයෙන් කැපවීමෙන් අප වෙත මේ මහඟු ධර්ම දායාදය නිරුපද්‍රිතව පරිපූර්ණව ශේෂ කොට ඇති බව සඳහන් කරන්නේ උත්තම වූ සංඝ රත්නයට සිතින් කයින් වචනයෙන් මාගේ අත්‍යන්ත නමස්කාරයද ගෞරවයද දක්වමිනි.  අද බොහෝ බොදුනුවන්ට අමතක වී තිබෙන නමුත් බැමිණිතියාසාය වැනි ස්වභාවික උවදුරු, එළාර, කාලිංඝ මාඝ, චෝල ආදී මෙන්ම ඉංග්‍රීසීන් දක්වාම විවිධ ආක්‍රමණයන් සහිත උපද්‍රව කාලයන්හි  අප මහා සංඝ රත්නය මේ උතුම් ධර්මය දායාදය අප වෙනුවෙන්ම ආරක්ෂා කරන්නට සිය ජීවිත කැප කොට කටයුතු කර ඇත. මේ කරුණු දැනගැනීමට උනන්දු පින්වතුන් අඩුම තරමින් අතිශය ගෞරවාර්හ රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විසින් ලියන ලද “සූවිසි මහගුණය” තෙරුවන් ගුණ විස්තර දක්වන ග්‍රන්ථය කියවන ලෙස මතක් කරමි. තෙරුවන් ගුණ දැන ඒ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගැනීමට මහත් රුකුලක්ද එම මහානර්ඝ දහම් පොතින් ඔබට ලබා ගත හැකිය.

7 comments:

  1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තිතුතියි. මෙවැනි අංග සම්පුර්ණ ලිපියක් ලිවීමේ සම්පුර්ණ කුශලය අනුමෝදන් වෙන්න ඕනෑ එම ලිපිය ලියු සසිත් රාජසුරිය මැතිතුමාටයි.
    සමරසේකර.

    ReplyDelete
  2. බෞද්ධ දර්ශනය පිලිබඳ මිසක් ඒය තවත් ඇදහීම් විශ්වාසයන් ගෙන් පිරුණු ආගමක් විදිහට මම දකින්නේ නෑ . නිර්වාණයට මාර්ගය වගේම ලෝකයේ ඕනිම ප්‍රශ්නකට විසඳුම් සොයන්න පුලුවන් චතුර් ආර්ය සත්‍ය වගේ තාර්කීය විශ්වීය දර්ශනයක් ලොවට දායද කරපු බුදු හාමුදුරුවන් හින්දු දේව කථා වලට ගැලපෙන ජාතක කථා වගේ දේවල් දේශනා කලාය කියල මම විශ්වාස කරන්නේ නෑ . ඔබත් මාත් ඉන්නේ තැන් දෙකක , නමුත් මම බෞද්ධ දර්ශනය ගැන සංවාද කරන්න ලොකු කැමැත්තක් නෑ

    ReplyDelete
    Replies
    1. බෞද්ධ ධර්මය දර්ශනයක් මෙන්ම ඇදහීමක් .දර්ශනයක් ලෙස පෙනෙන්නේ හේතුඵල වාදය අනුව විස්තරවෙන පටිච්ච සමුප්පාදය කොටසයි. එක තමයි ක්‍රීම් එක. බටහිර දර්ශනය රඳා පවත්නේ හුදෙක් දැනීම මතයි.එක්කෙනෙක් ලද දැනීම උඩ මතයක් (න්‍යායක්) ඉදිරිපත් කරනවා. ඊට වඩා දැනීමක් තියෙන කෙනෙක් තව මතයක් (න්‍යායක්) ඉදිරිපත් කරන තෙක් කලින් කි මතය තිබෙනවා. (හරියට ප්‍රොයිඩ් ලිංගිකත්වය මුලික සාධකය ලෙස දැක්වුවා වගේ) බුදුන් වහන්සේ ඉදිරිපත් කල මතයක් (චතුරාර්ය සත්‍ය) තවත් බුදුන් වහන්සේ නමකගේ මතයට (චතුරාර්ය සත්‍ය) වෙනස් නැහැ. සියලු බුදු රජුන් ඉදිරිපත් කලේ එකම මතයක් (චතුරාර්ය සත්‍ය) . නමුත් ඒක අධ්‍යනය කරන්නට සර්ධාව නැතිව බෑ. සර්ධාවට මුලික පදනම විශ්වාසයයි. ජය මංගල ගාථා නිකම් ඇහුවොත් ඒක උත්සව චාරිත්තරයක් විතරයි. නමුත් බුදුන් වහන්සේ ගැන සර්ධාවෙන් යුතුව (තේරුම දැනගෙන) ඇහැව්වොත් එතැනදී ගොඩනැගෙන විස්වාශය ඇදහීමක්. බයක් දැනුනාම නිකම්ම ඉතිපිසෝ භගවා කීවාට ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ. ඒ උනත් ධජග්ග සුත්‍රය කියවා (තේරුම දැනගෙන) බයක් තැති ගැනීමක් ඇති උනාම විශ්වාශයෙන් යුක්තවඉතිපිසෝ භගවා කියන්න.එතැනදී ආරක්ෂාවක් ලැබෙනවා.ඒක ඇදහීමක් නමුත් සර්ධාව නැතිව ඒකට ලඟා වෙන්න බෑ.
      ඔබ උදේ පාන්දරින් නැගිටලා වෙන වැඩ කරන අතරේ ෆෝන් එකේ තියෙන radio channel වලින් කියන පිරිත් අහන්න.ඇදහීම් කොටසට වැටෙන කොපමණ පිරිත් සුත්‍ර තිබෙනවද කියල එතකොට පෙනේවි.

      නමුත් බුධාගම (ඇදහීම) අනික් ආගම් වලින් වෙනස් වන ප්‍රධාන හේතුවක් තියෙනෙවා.අනෙක් ආගම් වල නොපෙනන දෙවියෙක් අදහන අතර, එම දෙවියා විසින් අදහන්නාට ත්‍යාග (ආරක්ෂාව) මෙන්ම නිසි පරිදි නොඅදහන්නාට දඬුවම් දෙනවා. නමුත් බුධාගමේ එය සර්ධාවෙන් අදහන්නට ආරක්ෂාව ලැබෙන අතර නොඅදහන්නාට දඬුවම් දීමක් සිදු වන්නේ නෑ.
      මම මේ කිව්වේ මට වැටහෙන ආකාරයටයි.

      සමරසේකර

      Delete
    2. ඔබේ අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න මට හැකියාවක් නෑ , මම පෞද්ගලිකව දර්ශනයක් වශයෙන් යොදා ගන්නත් , පිහිටක් ආරක්ෂාවක් බලාපොරොත්තු නොවි ඉන්නත් කැමතියි . මොකද දර්ශනයක් වශයෙන් බුදු දහමේ එන සංකල්ප වල විශ්වීය ගතියක් මම දකිනවා , එතන හිටියොත් මට වෙනත් ආගමිකයෙකුට ඇගිල්ල දිගු කරන්න පුලුවන් , ඒත් කුමන හෝ පිහිටක් බලාපොරොත්තු වෙන ගමන් , ඒ දේ කරන්න මට බෑ . පෞද්ගලිකව මගේ ජිවිතයේ බොහොමයක් ඇදහීම් දේවල් සංස්කෘතික හෝ සමාජීය දේවල් . ඒ කියන්නෙ මම පන්සල් යනවා , ගෙදර අය බුදුන් වඳින නිසා , පන්සලේ වුවමනා එපා කම් වෙනුවෙන් හාමුදුරුවන්ට උපකාර කරනවා , පන්සලේ දායකයෙක් වශයෙන් මගේ යුතුකමක් නිසා . අන්න ඒ වගේ :)

      Delete
    3. ඔබ හොඳ තැනක ඉන්නවා.බුද්ධ දර්ශනය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇදහීම අවශ්‍යයි. උදාහරණයක් දෙන්නම්. මා ඔබට බල කරන්න හදනවා නෙමෙයි.නමුත් පොදු අරමුණ වෙනුවෙන් කාලය යොදන අතරේම තම පෞද්ගලික යහපත ගැනත් හිතන එක වරදක් නැහැනේ.භාවනා පැත්තටත් ටිකක් යන්න.උදේ පාන්දරම පටන් ගන්න එක හොඳයි.කව්රුත් බාධා කරන්න යන්නේ නැහැ.භාවනාවක් කරන්න යන කොට ගොඩක් බාධක ඇතිවෙන එක නියතයි. (හුනෙක් ඇඬුවත් කනට ගැහුවා වාගේ දැනෙනවා) ඒක වලක්වන්න විද්වතුන් කරන්නේ භාවනාව පටන් ගන්න කොට එය සාර්තකව වැඩිමට දෙවියන්ට පින් දීමේ පොරොන්දුව මත දේව ආරක්ෂාව ඉල්ලීමයි. භාවනාව අවසානයේදී දෙවියන්ට පින් දෙනවා. මේක ඇදහීමක් යයි මම කියනවා .

      Delete
  3. "මම බෞද්ධ දර්ශනය ගැන සංවාද කරන්න ලොකු කැමැත්තක් නෑ"
    ------------------------------------
    සාමාන්‍යයෙන් වෙනත් සංවාද අවසානයේදී සංවාද කරුවා සිටින්නේ තමන් මුලදී සිටි ස්ථාවරයේමයි.ඔහු තර්ක කරනවා පමණයි. මතුවූ කිසිදු කරුණක් තමා තුලට ගන්නේ නෑ.
    නමුත් බෞද්ධ දර්ශනය,සහ බෞද්ධ ඇදහීම ගැන සංවාද කරන්නේ තම තර්කය ඔප්පු කිරීමටම පමණක් නෙමෙයි.
    රහස් බන හෝ සැඟවූ දේශනා බුදුදහම තුල නැහැ.එහිපස්සිකෝ (එව බලව ) කියන්නේ බුදුදහම සංවාදයට විවුර්තයි කියන එකනේ. සංවාදයේ අවසානයේ තමන්ටම ඒක වැටහෙන්න ඕනෑ. ඒ කියන්නේ සංවාදය අවසානයේදී බැසගත් නිගමනය තමන් දකින්න ඕනෑ. පච්චතන් වේදී තබ්බෝ කියන්නේ ඒකනේ. හැබැයි මේ නිගමනය මුලික කරගෙන තියෙන්නේ තමන් එම අවස්ථාවේදී ලබා ගත දැනුම මතයි. තම තම නැණ පමණින් දතයුත්තේ කියන්නේ එකන. මේ දැනීම කියන එක සාපෙක්ෂ දෙයක් .අංග සම්පුර්ණ දැනුමක් ලැබීමට නම් එය දැනුම+කුශලතා+ආකල්ප යන උපාංග 3න්ම සම්පුර්ණ වෙන්න ඕනෑ. මේ එක කරුණක් හෝ වර්ධනයවූ විට මුළු දනුමම වෙනස් වෙනවා. එත කොට එසේ ලැබූ නව දැනුම තම තුලට ඇතුලත් වෙනවා කියලයි මට වැටහෙන්නේ.

    ReplyDelete