Saturday, May 17, 2014

ජාතක පොත් වහන්සේ සිංහල විඥානය හැසිරුවූ අන්දම සමහුරුන්ට අපුල මන්ද?

ජාතක පොත් වහන්සේ සිංහල විඥානය හැසිරවූ අන්දම සමහරුන්ට  අපුල මන්ද?  1. කොටස 

සිංහල විඥානය හැසිරෙන ආකාරය  තම අභිලාෂයන් ඉටු කර ගැනීමට ඇති බාධාවක් ලෙස සලකන සමහරු සිංහල  විඥානයට සහ එයට සරු ලෙස වැඩීමට මග සැලසු බුදු දහමට අපහාස කිරීමට විවිධ මංපෙත් මගින් ඒ ඒ අවස්ථා වලදී වෙබ් අවකාශය තුල කරුණු ඉදිරිපත් කරති. තිලෝ ගුරු බුදු පියාණන්ගේ උත්පත්තිය, බුදුවීම,පිරිනිවන්  පෑම යන තෙමගුල සමරණ වෙසක් දිනයට ආසන්නව  මෙසේ පළවූ එක් අමන ලිපියක මතෘකාවක් වුයේ "හැපී බර්ත් ඩේ  බුදුසාදු"   යන්නය. තවත් ලිපියක වෙස්සන්තර ජාතකයත්,  ජාතක පොත් වහන්සේත් නිසා සිංහල විඥානය  වැරදියට සකස්වී ඇතැයි යන මතය ඉදිරිපත් කල කරුණු විකෘති කල පල් හෑල්ලක් ලියා තිබිණ. මෙම කරුණු දෙකින් අද මා ඉදිරිපත් කරන්නේ ජාතක පොත් වහන්සේ  ගැනය.

ජාතක පොත බුද්ධ භාෂිතයක්ද ?

ජාතක පොත ලියුවේ කුරුනෑගල යුගයේ බැවින් එය බුද්ධ භාෂිතයක් නොවන බවත්,ඒ දක්වා කාලය තුල පැවති විවිධ ජනප්‍රවාද ජාතක කථා නමින් ඇතුලත්වී ඇතැයි තර්කයක් ඉදිරිපත්වී ඇත. ජාතක කථා වල බුදුරජුන්ගේ දේශනා ලෙස දැක්වෙන්නේ ජාතක පාලියේ එන ජාතක කථා 547 ක ඇති ගාථා 6463යි. මේ ජාතක පාලිය තිබෙන්නේ ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ පොත් 15 න් එකක් ලෙසින්ය.   මහින්දාගමනයේ ප්‍රතිපලයක් ලෙසින් අපට පාලි ත්‍රිපිටකය ලැබිණ. එය බුද්ධ භාෂිතයක්  ලෙසින් ථෙරවාදී බෞධයෝ පිලි ගනිති. එබැවින් ජාතක පාලිය ඒ ඒ අවස්ථා වලදී බුදුරජුන්ගේ ශ්‍රී මුවින් පිටවූ දේශනා වෙයි. ත්‍රිපිටකයේ සුත්‍ර 84000ක් ඇතත් ඉන් බුද්ධ භාෂිතයන් ඇත්තේ 82000ක්  පමණි. මෙම සුත්‍ර ඉතා කෙටි බැවින් සහ කටපාඩම් කිරීමට උචිත වන ලෙස ගලපා ඇති බැවින් සුත්‍ර වල අඩංගු කරුණු අටඨ කථා මගින් පහැදිලි කර ඇත.සිංහලෙන් ලියු එම අටුවා කථා "සිහලට්ඪ කථා" නමින් හැඳීන්විණි. 

බුද්ධඝෝෂ හිමියන් මෙම සිංහල අටුවා කතා පාලියට නැගු බවත් ඉන් පසු මුලික සිංහල පොත්  විනාශ කල බවත් ඔබ දැනටමත් දන්නවා ඇතියයි සිතමි. මෙසේ පාලියට නැගුනු ජාතකට්ඨ කුරුනෑගල යුගයේදී ජාතක පොත් වහන්සේ නමින් නැවත සිංහලෙන් ලියවුනා.එහි පරිච්චෙද (නිපාත) 22කි. අද අප භාවිතා කරන්නේ එම ජාතක පොත් වහන්සේයි.

ජාතක පාලිය බුද්ධ භාෂිතයක් බව සනාථ කිරීම සඳහා  ත්‍රිපිටකයේ තිබෙන ජාතක කතා පාලියේ ඇති ගාථාවක් මෙසේ ඉදිරිපත් කරමි .

"තන් තන්  කාරණ මාගම්ම දෙසිතානි  ජුතිමතා 
අපන්නකාදිණි පුරා ජාතකානි මහේසිනා"

 මෙහි අදහස නම් අපන්නකාදී ජාතක කතාවෝ ඒ ඒ අවස්ථාවලදී මහර්ශිවූ බුදුන්වහන්සේ විසින් දෙසු බවයි.  

බුදු දහමේ මුලික බෙදීම් වලදීද ජාතක පාලිය තිබිණ. මින් පැහැදිලි වන්නේ ථෙරවාදී බුදු දහමේ මෙන්ම මහායාන බුධාගමේද ජාතක පොත ඇති බවය.  

550ස් ජාතක පොත යයි ව්‍යවහාර කලත් එහි ජාතක කථා 550ක් නැතියයි තවත් විවේචනයකි. ජාතක පොතේ ජාතක කථා 547ක්  ඇත. එමෙන්ම ත්‍රිපිටකයේ ජාතක කථා පාලියේ ජාතක කථා 547ක් ඇති අතර,එහි අඩංගු නොවන වෙනත් ජාතක කථා ත්‍රිපිටක පාලියේ  නොයෙක් තැන් වල  ඇත. එබැවින් 550ස් ජාතක පොතේ ජාතක කථා 550ක් නැති නිසා එහි සංඛ්‍යාත්මක වැදගත් කමක් නැතැයි යන තර්කය වැරදිය. ගුණසේන සමාගමෙන් 2007 වර්ෂයේදී මුද්‍රිත ජාතක කථා පොත් වහන්සේගේ 3 වන මුද්‍රණය පිටු 1848කින් යුක්ත අතර, එහි ඇති දුර්වලතාවය වන්නේ එය සරල බසින් ලියා නැති එකය.  පොත් ගුල්ලෙකුවූ මා එය එකලදී මිලට ගත්තේ රුපියල් 4000 කට අධික මුදලක් ගෙවාය.

බුදුන් වහන්සේගේ දාන, ශීල වීර්ය, උපේක්ෂා, ආදී දශ පාරමිතා විස්තර කිරීමේ පරමාර්ථයෙන් ලියා ඇති ජාතක පොත් වහන්සේ තුලින් සමාජය තුල ජිවත්වන විවිධ තරා තිරමේ ගැහැණුන්ගේ සහ මිනිසුන්ගේ යහපත් සහ අයහපත් ගති ලක්ෂණ මැනවින් පැහැදිලි කර ඇත. සමාජයේ යහපත් පැවැත්මට කුමන ගුණාංගයන් වර්ධනය කරගත යුතු දැයි එය සිංහළ විඥානයට  මැනවින් පැහැදිලි කර ඇත. වැදගත් කරුණ වන්නේ ලෝක ස්වභාවය නම් කුමක්දැයි අසන්නාට මැනවින් පසක් වන අන්දමට එම කථා ගොතා ඇති ආකාරයි. එම කථා අසන අය කතාවේ කියා ඇති දෙය මෙන්ම නොකියා එහෙත් අඟවා ඇති දෙය ගැනද මැනවින් හදාරති. එබැවින් ජාතක කථා පොත් වහන්සේ සිංහල බෞද්ධ සමාජය තුලට මැනවින් බැස ගෙන ඇත. මෙසේ සිංහල බෞද්ධ ජන සමාජය තුලට බැසගත් තවත් පොතක් වන්නේ ධම්ම පදයයි. 

මට වැටහෙන පරිදි ජාතක පොත් වහන්සේ ලියා ඇත්තේ තනි තනිව එක් එක් අය විසින් කියවා සතුටක් ලැබීමට නොව සමුහයක් තුල එක් අයෙකු විසින් හඬ නගා කියවන කතාව අන් අය විසින් අසා සිටීමටය. එමෙන්ම  කතාව තුලින් කියවෙන මුලික කරුණ නොව එය තුලින් ශ්‍රාවකයා තුල නැගෙන අදහස ඉස්මතු කිරීමට මෙම කථා ලියා ඇති  බවත් පැහැදිලිය.












0 comments:

Post a Comment