sri lanka flag

නියම සිංහල කොඩිය.

බෞද්ධ කොඩිය

සිංහල ජතියේ කොඩිය වැනි බෞද්ධ කොඩිය.

1985 Vesak

Buddhist Era 2529

දහම් දැණුම

දහම් දැණුම පිරිපුණ් සැදැවත් සමජයක්.

අප මහා බුදුරදුන්

අප මහා බුදුරදුන් දෙවියන් හට ධර්මය දෙශණ කිරිම.

Tuesday, November 3, 2015

වර්තමාන ශාසනික අභියෝග හමුවේ ශ්‍රී ලාංකික භික්‌ෂුවගේ භූමිකාව

අද දිවයින පත්‍රයේ වර්තමාන ශ්‍රී ලාංකික භික්ෂුවගේ භූමිකාව නමින් මැදගම ධම්මානනන්ද හිමියන් විසින් ලියන ලද කාලින ලිපියක් පලවී තිබෙනවා. මේ ලිපියේ අද සමාජය විසින් භික්ෂුන් වහන්සේලා ගැන සිටිය යුතු බොහෝ කරුණු දක්වා ඇත. මෙම ලිපිය බොහෝ දෙනා විසින් සම්පුර්ණයෙන්ම කියවියයුතු එකකි. උන් වහන්සේ එම ලිපිය මහත් පරිශ්‍රමයකින් ලියා ඇත්තේ බොහෝ දෙනාට කියවීමට නිසා   එම ලිපිය කිසිදු වෙනසකින් තොරව උපුටා ගැනීම  වෙනුවෙන් උන් වහන්සේ විරුද්ධ නොවෙතැයි අපේක්ෂා කරනවා. 

සමරසේකර  



වර්තමාන ශාසනික අභියෝග හමුවේශ්‍රී ලාංකික භික්‌ෂුවගේ භූමිකාව 
මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික

සම්බුදු සසුන ඇරඹුන යුගයේ සිට වර්තමානය දක්‌වාම භික්‌ෂුත්වයේ මූලික අරමුණ වන්නේ සසර සියලු දුක්‌වලින් නිදහස්‌වූ නිර්වාණය අවබෝධ කර ගැනීමයි. එය භික්‌ෂුවකගේ පෞද්ගලික වූ අධ්‍යාත්මික අපේක්‌ෂාවයි. එහෙත් භික්‌ෂුව නිර්වාණාවබෝධය උදෙසා හුදෙකලා වූ ආත්මාර්ථකාමී දිවි පෙවෙතකට යොමුවුණු කෙනකු ලෙස අර්ථ ගැන්විය නොහැක. බුද්ධ දේශනාවට අනුගත වූ පරාර්ථචර්යාව වෙනුවෙන් කැපවුණු චර්යා රටාවක්‌ ද භික්‌ෂු ජීවිතයෙහි දක්‌නට තිබේ. දෙදහස්‌ පන්සිය වසරක්‌ තිස්‌සේ බුදු දහම විවිධ රටවල ජන සමාජ අතර පැතිරීමේදී ඒ ඒ රටවල ජනතාවගේ සිතුම් පැතුම් හා සංස්‌කෘතික ලක්‌ෂණවලට අනුකූලව භික්‌ෂුව හැඩගැසී ඇත. ඒ නිසා වර්තමානයේ අපට දක්‌නට ලැබෙන්නේ බුද්ධ කාලයේ සිටි භික්‌ෂුවට වඩා පුළුල් ආකල්ප සමුදායකින් පෝෂණය වූ භික්‌ෂුවකි.

තෙරුවන් සරණ යැම යන වදනෙහි අරුත බුද්ධ - ධම්ම - සංඝ යන ත්‍රිවිධ රත්නයට අනුගතව කටයුතු කිරීමයි. බෞද්ධයා යන්නට අදාළ එම ධර්මානුකූල විවරණය ඉක්‌මවා ගිය තේරුමක්‌ වත්මන් බෞද්ධ සමාජය තුළට කි¹ බැස ඇත. තෙරුවණ යනු තමන්ට එදිනෙදා ජීවිතයේ කටයුතුවලට පිහිටාධාර වන, විවිධ උවදුරුවලින් මුදවන ක්‍රියාකාරී බලවේගයකි යන අදහසක්‌ද බෞද්ධයන්ගේ හිත්වල පවතියි. බෞද්ධ සමාජයේ භාවිත පරිත්‍රාණ දේශනා හා සිංහල බෞද්ධ සංස්‌කෘතිය තුළ ඇති විවිධ චාරිත්‍ර මගින් එම විශ්වාසය ඔපවත් කරයි. තෙරුවන නියෝජනය කරමින් බෞද්ධයන් අතර ජීවමාන බලවේගය වන්නේ භික්‌ෂූන් වහන්සේයි.

බෞද්ධයන්ගේ අපේක්‌ෂාව වටහාගත් ශ්‍රී ලාංකික භික්‌ෂුව ආධ්‍යාත්මික උපදේශකයකු වශයෙන් පමණක්‌ නොව ජීවමාන ආරක්‌ෂකයකු ලෙස සිදුකළ මෙහෙවර ලංකා ඉතිහාසයෙහි සටහන් වෙයි. ශ්‍රී ලාංකික භික්‌ෂුව ජාතියේ හා දේශයේ ආරක්‌ෂකයෙකි. රාජ්‍ය අනුශාසකයෙකි. භාෂාව, සාහිත්‍ය, වෙදහෙදකම්, ජ්‍යෝතිෂය ආදී ශිල්ප ශාස්‌ත්‍ර ප්‍රවර්ධනයට දායකවූ කෙනෙකි. දුක සැප දෙකෙහිමදීම ජනතාව සමඟ ජීවත්වන කෙනෙකි. ශ්‍රී ලාංකික භික්‌ෂුව එම කටයුතු සිදුකළේ තමන් තුළ වර්ධනය කරගත් ආධ්‍යාත්මික ශක්‌තිය, කරුණාව, මෛත්‍රිය, පරාර්ථ චර්යාව වැනි ගුණධර්ම හා භාෂා ශාස්‌ත්‍රීය ඥානය පදනම් කර ගැනීමෙනි. අතීත භික්‌ෂුවගේ මෙම ජනහිතවාදී ක්‍රියාදාමය අඛණ්‌ඩව පවත්වාගෙන යැම වත්මන් භික්‌ෂුවට ඇති ප්‍රධාන අභියෝගයයි.

ශ්‍රී ලාංකික භික්‌ෂුවගේ ආකල්ප හා චර්යාවන් මූලික භික්‌ෂු පරමාර්ථයන්ට පටහැනි වූ අවස්‌ථාවන්ද දක්‌නට තිබේ. සමාජ මෙහෙවර අරමුණු කොට ඇරඹුන වෙදහෙදකම් නැකැත් කීම් වැනි කටයුතු ලාභාපේක්‌ෂාවෙන් සිදුකරන තත්ත්වයට භික්‌ෂුව පත්ව ඇත. එවැනි කාරණා මතුවූ විට ශාසනික කතිකාවක්‌ මගින් භික්‌ෂුත්වය යහ මගට ගැනීමට අතීතයේදී වෙර දරා ඇත. භික්‌ෂුවගේ ශ්‍රමණ සාරුප්‍ය සමඟ බැඳුණ මෙබඳු කාරණා වර්තමාන බෞද්ධ සමාජය තුළ ද කතිකාවකට ලක්‌වෙයි. බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් යෝජිත ථෙරවාදී භික්‌ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි භික්‌ෂූන්ගේ හැසිරීම් හා විනය පිළිබඳ ප්‍රඥප්ති සැකසීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කීපයක්‌ නම් කර තිබේ. එයින් මතුවන්නේ වර්තමාන භික්‌ෂු සමාජයේ පැතිකඩකි.

(අ) භික්‌ෂූන් වහන්සේ නමක්‌ ගුප්ත විද්‍යා කටයුතුවල නිරතවීම හා ඊට සමාන ක්‍රියාවන්හි නියෑළීම සහ ඒවාට ප්‍රචාරය දීම.

(ආ) භික්‌ෂූන් වහන්සේ නමක්‌ වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවල නිරතවීම.

(ඇ) භික්‌ෂූන් වහන්සේ නමක්‌ වාහන බලපත්‍රයක්‌ ලබා ගැනීම හා වාහන පැදවීම.

(ඈ) අධ්‍යාපනය, සමාජ සේවා හා ආගමික කටයුතුවලට අදාළ නොවන ක්‌ෂේත්‍රයන්හි රැකියාවක යෙදීම.

(ඊ) භික්‌ෂු විනයට පටහැනි ක්‍රියාවන්හි යෙදීම.

ඉහත කරුණු පදනම් කරගෙන භික්‌ෂූන්ගේ චර්යාවන් පාලනය කිරීමට අවශ්‍ය නීති පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇත. දැනට ක්‍රියාත්මක අපරාධ නීතිරීතිවලට පුරවැසියකු වශයෙන් භික්‌ෂුව යටත් වෙයි. කතිකාවත් පනත මගින් යෝජනා කෙරෙන්නේ එයට අතිරේක වූ නීති ප්‍රතිපාදන පැනවීමකි. බුද්ධ දේශිත විනය නීතියෙන් පාලනය විය යුතු භික්‌ෂුව රාජ නීතියෙන් බැඳ තැබීමක්‌ වශයෙන් එය අර්ථකථනය කළ හැකිය. ඇතැම් භික්‌ෂූන්ගේ චර්යා රටාවන් බෞද්ධ සමාජයේ ප්‍රසාදයට හේතු නොවන අතර භික්‌ෂු සමාජයේ පැවැත්මට ද තර්ජනයකි. ඒ නිසා පැවිදි බවට නොගැළපෙන හැසිරීම් පාලනයට කිසියම් ක්‍රමෝපායක අවශ්‍යතාව භික්‌ෂු සමාජයට දැනෙයි. භික්‌ෂු කතිකාවතක සාධනීය ලක්‌ෂණ මෙන්ම එවැනි පනතකින් භික්‍ෂු සමාජය මුහුණපාන අවදානම ගැන ද කල්පනා කළ යුතුය. එසේ නොවුණොත් කතිකාවත් නීතිගත කිරීම අනාගත භික්‌ෂු සමාජයේ පැවැත්මට බරපතළ අභියෝගයක්‌ වන්නට ඉඩ ඇත. දැනට පවතින ඇතැම් පොදු නීති ප්‍රඥප්ති ද බෞද්ධ සම්ප්‍රදායට බාධා ගෙන දෙයි. විශේෂයෙන් මානව හා ළමා අයිතිවාසිකම් පිළිබඳ නීති ප්‍රතිපාදන භික්‍ෂු විනය නීති අභිභවයි.

සත් හැවිරිදි විය ඉක්‌මවූ පිරිමි දරුවන් පැවිදි කිරීම චිරාගත ශාසනික සම්ප්‍රදායකි. විනය ප්‍රඥප්තිවලට අනුකූලය. (මහා වග්ග 1, 50 - 53) නමුත් ළමයින් පැවිදි කිරීමට එරෙහිව මතවාද පතුරුවන වෙබ් අඩවි රාශියක්‌ අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා පසුබිම සැලසෙන්නේ ළමා අයිතිවාසිකම් පිළිබඳ පොදු නීති රීති මගිනි. ආචාර්ය ගනනාථ ඔබේසේකර 2001 ජුලි 08 දින දි අයිලන්ඩ් පත්‍රයට සැපයූ ලිපියක ළමා පැවිද්ද විනය නීතියට පටහැනි බව හුවා ඉස්‌මතු කිරීමට වෙරදරයි. (Child Ordination and rights Childs The Island 08 July, 2001) සංඝ සමාජය කෙරෙහි කලකිරවීම සහ පැවිදි බව කෙරෙහි ඇල්ම නැතිකරවීම ඇතැම් ජනමාධ්‍ය මගින් සංවිධානාත්මක සිදුවන්නකි. ප්‍රෙඩ්රිකා ජෑන්ස්‌ විසින් සන්ඩේ ලීඩර් පත්‍රයට සැපයූ ලිපියක භික්‌ෂූන් අතර ළමා අපචාර වර්ධනයක්‌ පවතින බව ඉස්‌මතු කර ඇත.Public Eye - Investigation: Child abuse by Clergy on the rise - Fredrica Janz - Sunday Leader) මෙවැනි විරෝධාකල්ප සමාජගත කිරීමේ අරමුණ පැවිදි බව කෙරෙහි ඇති ලැදියාව හීනකොට සඟ සසුන හිස්‌ කිරීමයි. එම නිසා භික්‌ෂූන්ට එරෙහිව ගොඩනඟන සමාජ මතවාද හා චෝදනා මැඬලීමට භික්‌ෂූන් ක්‍රියාකාරී විය යුතුය. රජයේ පාසල්වල මෑතක්‌ වනතුරුම ඉංග්‍රීසි සාහිත්‍ය විෂය සඳහා Monkeys නමින් කෙටි කථාවක්‌ නිර්දේශ කොට තිබුණි. ළමා වියේ කෙළිලොල් දිවිය අහිමිව හුදෙකලා වූ සාමණේර භික්‌ෂුවකගේ චරිතය එහි තේමාවයි. කිසිවකුගේ ආදරය සෙනෙහස නොලැබ දවසේ වැඩි කොටස වඳුරන් සමඟ ගතකරන ළමා සාමණේරයන්ගේ කටුක ජීවන රටාව එයින් ඉස්‌මතු කරයි. සාහිත්‍ය නිර්මාණයක්‌ වශයෙන් එම කෙටිකතාව අගය කළ හැකි වුවත් එම කෘතියෙන් සමාජයට දෙන පණිවුඩය හා භික්‌ෂුව පිළිබඳ මවන ප්‍රතිරූපය ශාසනයේ පැවැත්මට හානිකරය. භික්‌ෂූන් යනු ළමා මනස තේරුම් නොගත් අකාරුණික පිරිසකි. භික්‌ෂු ජීවිතය ළමුන්ට නොගැළපෙන්නකි. යන අදහස එයින් සමාජ ගතකරයි. එම කෙටිකතාව කියෑවූ දරුවකු කිසිදාක පැවිදි නොවනු ඇත. එම කෙටිකතාව පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කෙරුණේ බෞද්ධ සංවිධානවල බලකිරීමෙනි. පාසල් විෂය නිර්දේශ හා පොත පත ජාතික හා ආගමික සාරධර්මවලට ගැළපේදැ? යි විමසීමට භික්‌ෂූන් උනන්දු විය යුතුය.

භික්‌ෂූන් සිවුරු හැරයැමේ ප්‍රතිශතය වාර්ෂිකව ඉහළ යන අයුරු භික්‌ෂු මූලස්‌ථානවලට ඉදිරිපත් වන වර්තාවලින් පැහැදිලි වෙයි. භික්‌ෂූන්ගේ නොමනා හැසිරීම් පිළිබඳව මාධ්‍යවලින් නිරන්තරයෙන් හෙළිදරව් වෙයි. භික්‌ෂූන් උපැවිදි වීමට හා භික්‌ෂු ගෞරවය කෙලෙසන අයුරින් හැසිරීමට බලපාන හේතු සාධක මොනවාද? යි හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම භික්‌ෂු නායකත්වයේ වගකීමකි. භික්‌ෂූන් සඳහා ක්‍රියාත්මක සාම්ප්‍රදායික නීතිය ද සිවුරු හැර යැම සඳහා භික්‌ෂූන් පොලඹවයි. පැවිදි ගුරුවරයාගේ අපවත්වීමෙන් පසු නීත්‍යනුකූලව විහාරාධිපති තනතුරට පත්වන්නේ වැඩිමහල් ශිෂ්‍ය භික්‌ෂුවයි. භික්‌ෂුවකගේ ගුණධර්මවලට හා ධර්ම ඥානයට වඩා ව්‍යවහාර නීතිය එම තනතුර ලබාගැනීමේදී බලවත් වෙයි. විහාරාධිපති ධුරයට පත් වැඩිමහලු භික්‌ෂුව තමන්ට බාල සෙසු භික්‌ෂූන්ගේ අවශ්‍යතා නොසලකා කටයුතු කෙරෙන අවස්‌ථා බහුලය. ඒ නිසා ඔවුහු මහණකම අත්හරිති. සමහරු හිතුවක්‌කාර වෙති. කලක්‌ තිස්‌සේ සාංඝික දේපොළ පරිහරණ රටාව වෙනස්‌වීමෙන් සැදුන ශාසනික නීතියෙන් භික්‌ෂු ජීවිතයට අහිතකර බලපෑමක්‌ සිදුවෙයි. සංශෝධිත විහාර දේවාලගම් පනත් කෙටුම්පත සම්මත කෙරුණොත් ඒ සඳහා යම් තරමක සහනයක්‌ සැලසෙනු ඇත. එහෙත් නීති සම්මතයකින් පමණක්‌ බුදු සසුනෙහි පැවැත්ම අපේක්‌ෂා කළ නොහැක. එය සිදුවන්නේ යහපත් පිළිවෙත් මත ක්‍රියාකරන විනයගරුක යතිවරුන්ගෙනි.

සමාජ අවබෝධය නොමැතිකම හා තරුණකම නිසා විවිධ අර්බුදකාරී ලෙස හැසිරෙන භික්‌ෂූන් කෙරෙහි සානුකම්පිකවීම වැඩිහිටි භික්‌ෂූන්ගේත්, බෞද්ධ ජනතාවගේත් වගකීමකි. එහෙත් බොහෝ විට වැඩිහිටියන් කටයුතු කරන්නේ භික්‌ෂු සමාජය කෙරෙහි ඔවුන් තුළ වෛරයක්‌ ඇතිවන අයුරිනි. දෝෂාරෝපණය හා වවේචනය මගින් එවැනි භික්‌ෂූන් හෙළා දැක ඔවුන් පිටුදැකීම බුද්ධිමත් පියවරක්‌ නොවේ. භික්‌ෂුවක්‌ නීතියට පටහැනි කිසියම් සිද්ධියකට චෝදනා ලැබූ මොහොතෙහිම දයා විරහිතව එම භික්‌ෂුවගේ චරිතය ජනමාධ්‍ය විසින් ඝාතනය කරනු ලබයි. ගෞරවාන්විත දිවි පෙවෙතක්‌ ගත කරමින් සමාජ මෙහෙවරක යෙදුන භික්‌ෂුවක්‌ කිසියම් වරදකට චූදිතයකු වූ කෙණහිම අවඥ සහගතව චීවරධාරියා යනුවෙන් හැඳින්වේ. චෝදනාවෙන් නිදහස්‌ වුවත්, මාධ්‍ය මගින් සිදුකළ චරිත ඝාතනය නිසා දායකයන් හමුවට යැමට නොහැකිව එම භික්‌ෂුව උපැවිදි වීම බහුලව සිදුවන්නකි. භික්‌ෂු ජීවිත ගැන ඇතැම් ජනමාධ්‍යවේදීන්ගේ සිත් තුළ කිසිදු තෙත් බවක්‌ නොමැත. භික්‌ෂු ප්‍රතිරූපය කෙළෙසීම ඇතැම් මාධ්‍යවල සැලසුම් සහගත ක්‍රියාදාමයකි. එම ශාසනික ව්‍යසනය දෙස බලධාරීන් භික්‌ෂූන් ඇස්‌ ඇර බැලිය යුතුය.

සිරිලක බුදු සසුන මෙතෙක්‌ කල් සුරැකුණේ දුප්පත් පවුල්වලින් පැවිදි වන දරුවන් නිසාය. ඉගෙනුම හා ලාභ ප්‍රයෝජන තකා දුප්පත් පවුල්වල ළමයි පැවිදි වෙනවා යන්න දිගු කලක සිට සමාජය තුළ පතුරවන මතයකි. ළමා වියේදීම මවුපියන්ගෙන් ඈත්ව මහණ වී දායකයන් වෙනුවෙන් ඇප කැප වන පොහොසත් පවුල්වලින් ඉදිරිපත් වන්නේ සීමිත පිරිසකි. භික්‌ෂූන්ගේ අධ්‍යාපන පහසුකම් ගැන බොහෝ අය කතා කළත්, ඉගෙනුම ලබන භික්‌ෂූන්ගෙ අවශ්‍යතා ඉටුකර දෙන්නට කෙතෙක්‌ දායක වනවාද? යන්න ඒ චෝදකයන් තමන්ගෙන්ම විමසිය යුතු පැනයකි. බොහෝ භික්‌ෂූන් ඉගෙනුම ලබන්නේ ශිෂ්‍යාධාර හා නෑදෑ හිතවතුන්ගේ ආධාරයෙනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සිවුරු හැරයාමට හේතුවෙනවා යෑයි මතයක්‌ද පවතියි. එහි යම් සත්‍යයක්‌ තිබේ. නමුත් මහණකම එලෙස එපා වන්නේ ඇයි? උසස්‌ අධ්‍යාපනය නිසාමද? යන්න විමසිය යුත්තකි. භික්‌ෂුවක්‌ වශයෙන් සමාජ මෙහෙවරක යෙදිය යුතුය යන ආකල්පය ළමාවියේ සිටම භික්‌ෂූන්ගේ සිත් තුළ වර්ධනය විය යුත්තකි. ඒ සඳහා පරිසරය සැකසීම වැඩිහිටි භික්‌ෂූන්ගේ වගකීමකි. අර්බුදකාරී ලෙස හැසිරෙන තරුණ භික්‌ෂූන් පිළිබඳ සිදුකළ පරීක්‍ෂණයකින් අනාවරණය වූයේ ඒ බොහෝ දෙනාට දිගු කලෙක සිට පැවිදි ගුරුවරයා හා තම දායකයන් සමඟ ඇසුරක්‌ නොමැති බවයි. පන්සල තුළ පවතින අයහපත් පරිසරය, ඇතැම් ශිෂ්‍යයන්ට විශේෂ සැලකිල්ල, සද්ධි විහාරිකයන්ගේ අකටයුතු ආදිය හේතූවෙන් ඇතැම් තරුණ භික්‌ෂූහු පන්සලෙන් බැහැරව තමන් හඳුනාගත් පන්සලක වෙසෙති. තමන් කෙරෙහි කරුණා දයාවක්‌ නොමැති ගිහි හෝ පැවිදි සමාජය කෙරෙහි අසුබවාදී දෘෂ්ටියක්‌ ඔවුන්ගේ මනස තුළ රෝපණය වීම මානුෂීය ස්‌වභාවයකි. එවැනි භික්‌ෂු ජීවිත තුළින් කලහකාරී චරිත ලක්‍ෂණ ඉස්‌මතු වෙයි. හුදෙකලා වීම නිසා වෙනත් ජීවන මාර්ගයකට යොමුවීමත්, භික්‌ෂුවකට ආවේනික පරාර්ථකාමී ෙච්තනාවලින් ඈත්වීමත් සිදුවෙයි. විප්ලවකාරී දේශපාලන මතවාද ඒ අයගේ මනසට ඇතුළුකිරීම පහසුය.

ශාසනික දේපොළ භික්‌ෂූන්ගේ පොදු යහපත සඳහා යොදවන විධිමත් ක්‍රමයක්‌ ස්‌ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවකි. තමන් නිසි රැකවරණයක්‌ නොමැති හුදෙකලා පිරිසක්‌ යන ආකල්ප බොහෝ තරුණ භික්‌ෂුන්ගේ සිත් තුළ පැළපදියම්ව පවතියි. නායක පදවි පත්කිරීම ගැන මිස අනාගත ශාසනාභාරය දැරීම සඳහා හැඩගැසෙන භික්‌ෂූන්ගේ අවශ්‍යතා ඉටුකරදීමක්‌ හා නොයෙකුත් හේතු මත පීඩාවට පත්වන භික්‌ෂූන් ගැන සොයා බැලීමක්‌ භික්‌ෂූ මූලස්‌ථානවලට නොමැත යන චෝදනාවෙන් මිදෙන්න භික්‌ෂු නායකත්වය වගබලාගත යුතුය. තරුණ භික්‌ෂූන් මුහුණපාන ප්‍රශ්න ගැන කියන්නට හා ඔවුන්ගේ ඒ ප්‍රශ්නවලට සානුකම්පිකව සවන්දී විසඳුම් ලබා දෙන්නට දැන උගත් භික්‌ෂූන්ගෙන් සැදුන ආයතනයක්‌ ස්‌ථාපිත කළ යුතුය. භික්‌ෂු උපදේශනය එහි ප්‍රධාන කාර්යයකි.

අන්‍යාගම්කරණය හෙවත් ආගම් මාරුව සඳහා බෞද්ධයන් පෙලඹවීම දිගුකලක සිට බෞද්ධ සමාජයට එල්ල වන තර්ජනයකි. එයට වඩා බුදු දහමට හානිකරන බලවේග රාශියක්‌ වර්තමාන බුද්ධ ශාසනය තුළම ක්‍රියාත්මක වෙයි. බෞද්ධ සංකල්ප හා සම්ප්‍රදාය හෙළා දකින බුදු දහමට හා සංස්‌කෘතියට නව අර්ථකථන සැපයීමෙන් බුදු දහම විකෘති කරන ගිහියන් හා පැවිද්දන් නිසා සිදුවන්නේ බරපතළ ශාසන ව්‍යසනයකි. මෑතකදී පළකෙරුන ඇතැම් කෘතිවලින් බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා ශාසන ඉතිහාසය සාහසික ලෙස විකෘතිකොට ඇත. බුදුරදුන් ලක්‌දිව පහළ වූ බවට පතුරුවන මිථ්‍යාව ඒ අතර ප්‍රධානය. ඔවුන් වෙත ශ්‍රාවකයන් නැඹුරුකර ගන්නේ වර්තමාන සංඝ සමාජය කෙරෙහි ද්වේෂය පැතිරවීම හා සිංහල බෞද්ධ සංස්‌කෘතිකාංග හෙළා දැකීමෙනි. පාංශුකූල දීම. මතක බණ කීම, බුද්ධ පූජා බෝධි පූජා ආදී සිංහල බෞද්ධයා හා පන්සල අතර බැඳීම ඇතිකෙරෙන චාරිත්‍ර ධර්ම ප්‍රතික්‌ෂේප කරන බෞද්ධ සමාජයක්‌ දැනටත් මොවුන් විසින් නිර්මාණය කරනු ලැබ ඇත. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, මහරහත් තත්ත්වයෙන් පෙනී සිටින මේ අය අතර බොහෝ දෙනා වයස්‌ගත පැවිදි වූ බුඩ්ඩ පබ්බජිතයෝ වෙති. ශාසනික සම්ප්‍රදාය තුළ වෘද්ධ භාවයට හිමි ප්‍රමුඛත්වය හා ගෞරවය නොලැබීමේ හීන මානය නිසා සමාජ තත්ත්වයක්‌ ගොඩනඟා ගැනීමට විවිධ විච්චූර්ණ සංකල්ප ඉදිරිපත් කිරීමට ඔවුහු යොමුවී සිටිති. ත්‍රිපිටකය ලියෑවුන පාලි භාෂාව නොදන්නා නිසා එම භාෂාවට ගැරහීම ද ඊනියා ධර්ම දේශකයන්ගේ ප්‍රධාන ලක්‍ෂණයකි. බුද්ධඝෝෂ අටුවාචාරීන්ට පවා ඔවුහු බැණවදිති. ඔවුන්ගේ ඊනියා දහම ගොඩනඟන්නේ ත්‍රිපිටකයෙහි හා භාවිතයෙහි පවතින පාරිභාෂික වචන හිතුමතයට කඩා බිඳ නව අර්ථකථන සැපයීමෙනි. එලෙස විකෘති අර්ථ දෙන "වචන සලාද" (Word salad) සෑදීම බැලූ බැල්මට නොපෙනෙන මානසික රෝගයකි. එම භින්නෝන්මාදය වෛද්‍ය විද්‍යාවෙහි හැඳින්වෙන්නේ ෂිට්‌ෂෝපෙර්නියා Schizophrenia‌ යනුවෙනි. 

(Schizophrenia, commonly referred to as word salad, is confused it is characterized by an apparentiy confused usage of words with no apparent meaning or relationship attached to them. In this context, it is considered to be a symptom of a formal thought disorder)

ඇතැමුන්ගේ ඊනියා දහම් දෙසුම්වල හැටියට කඳුකරයේ පිහිටි ගිනිගත්හේන ප්‍රදේශය බුදුරදුන් නන්ද කුමරුට දැවුණු වැඳිරියන් පෙන්වූ ස්‌ථානයයි. හබරණ උඩංගාව සිදුහත් බෝසතුන් පාත්‍රය උඩුගං බලා යෑවූ ස්‌ථානයයි. බුද්දම යනු බුදුන් වැඩසිටි ගමයි. ඉසින්බැස්‌සගල පස්‌වග තවුසන් සිටිය ඉසිපතන භූමියයි. ගාල්ලේ ගිහි දේශකයකුගේ බණේ හැටියට පස්‌වග තවුසන් යනු පංචස්‌ඛන්දයයි. මහාමායා දේවිය ලිංග විපර්යාසයකින් පිරිමියකු බවට පත්විය. සෝවාන් ආදී මගඵල කෙටි කලක්‌ තුළ උදාකර දී සහතික දීම රහතුන් ලෙස පෙනී සිටින අයගේ ව්‍යාපෘතියකි. මෙවැනි දේශකයනට එරෙහි විරෝධතා පසුගිය සමයේ විවිධ ප්‍රදේශවලින් මතුවිය. නමුත් ගිහි පැවිදි වගකිවයුත්තෝ ඒ විරෝධතාවලට හේතුවට පිළියම් කිරීම වෙනුවට විරෝධතා දියත් කළ පිරිසට දෝෂාරෝපණය කළහ. මූලික බුදු දහම ගැන හැදෑරීමක්‌ නොමැති වෛද්‍ය ව්‍යාපාරික, ඉංජිනේරු මැති ඇමැති ආදී වෘත්තිකයන් මේ දේශකයන් වටා රොක්‌ව සිටිති. එම ශාසනික පිළිලය කපා දැමීමට ඔවුහු බාධා කරති. මේ බෞද්ධ ප්‍රතිරූපකයන් ධර්මය විකෘති කිරීම වළකාලීමට යෝජිත බෞද්ධ ප්‍රකාශන නියාමන පනත් කෙටුම්පත මේ දක්‌වා සම්මත නොවුණේ නීති සම්පාදක අංශවල ධර්මය විකෘකි කරන පුද්ගලයන්ගේ අනුගාමිකයන් සිටින බැවිනි. පොහොය දින ගමේ පන්සල පාළුවට හැර, හාමුදුරුවන් හැරදමා, ඊනියා භාවනාකරුවන්ගේ හා දේශකයන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක තැන්වලට අනුගාමිකයෝ ඇදෙති. බුද්ධ ශාසන පාළුවන්ගේ මිථ්‍යා මතවාද ඛණ්‌ඩනය සඳහා සසුන් ලැදි තෙරවරුන්ට පෙළගැසීම සඳහා මේ කාලයයි.

සෞභාග්‍ය උදාකර ගැනීමේ මාර්ගය ලෙස ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන ෆෙන්සුයි, ලාෆින් බුද්ධ ඇදහිල්ල, වාලම්පුරි ව්‍යාපාරය වැනි මිථ්‍යාවන් නිසා සම්මා දිට්‌ඨිය පදනම් කරගත් උතුම් දහමක්‌ අදහන ශ්‍රී ලාංකික ජනතාව හරසුන් පිsරිසක්‌ බවට පත්වෙමින් සිටිති. ධාතු වන්දනාව ධනෝපායන හා වාණිජ ව්‍යාපාර වශයෙන් පවත්වාගෙන යන පිsරිසක්‌ ද වෙති. විවිධ තැන්හි ප්‍රදර්ශනය කෙරෙන, විදෙස්‌වලට වැඩම කරවන බොහෝ ධාතූන් වහන්සේලාට පැහැදිලි ඉතිහාසයක්‌ නොමැත. ශ්‍රද්ධාවෙන් අන්ධ වූ බෞද්ධයෝ සාධුකාර දෙමින් ඒවාට මුදල්, රන් මාල, මුදු ආදිය පුදති. අහිංසක බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව කොල්ලකන ධාතු පෙළහැර හා බුදු පිළිම වාහන මත තබාගෙන මුදලට පිරිත් නූල් බෙදීමේ ව්‍යාපාර නැවැත්වීමට වගකීම් දරන ආයතන මැදිහත් විය යුතුය.

එසේ නොකළොත් සිදුවන්නේ සර්වඥ ධාතුන් පිළිබඳ විශ්වාසය බෞද්ධයන්ගේ හදවත්වලින් මැකීයාමයි. භික්‌ෂූන්ගේ කාර්ය වන්නේ මෝඩ ශ්‍රද්ධාව (අමූලිකා සද්ධා) වෙනුවට ප්‍රඥාව මූලික ආකාරවති ශ්‍රද්ධාව බෞද්ධයන්ගේ සිත් තුළ වර්ධනය කිරීමයි. බුදුපිළිම, දාගැබ් ආදී පූජණීය වස්‌තු නිර්මාණය අවශ්‍ය දෙයකි. එහෙත් භික්‌ෂුව ප්‍රමුඛත්වය දිය යුත්තේ භෞතික වස්‌තු නොව පුද්ගල චර්යාවන් යහපත්ව ගොඩනැඟීමට යි.

බුද්ධ ශාසනයේ චිරස්‌තිථියට බාධක වන කාරණා රැසක්‌ පවතිද්දී දේව බලයෙන් බුදුසසුන සුරැකෙයි යන ප්‍රවාදය කෙරෙහි විශ්වාසය තබා නිහඬවීමට භික්‌ෂුවට නොහැක. බුදුසසුන සුරැකෙන්නේ භික්‌ෂුවගේ ඇපකැපවීමෙනි. විසිඑක්‌වන සියවසේ භික්‌ෂු සංඝයා මුහුණදෙන අභියෝගය යන මැයෙන් භික්‌ඛු බෝධි හිමියන් පැවැත්වූ දේශනය කෙරෙහි මෙහදී භික්‌ෂූන්ගේ අවධානය යොමු කිරීම අගනේය.

"ගිහි සමාජය තොරතුරු තාක්‌ෂණයෙන් සමාජ සම්බන්ධතා පවත්වාගෙන යැමට හුරුවීම හා එමගින් ලැබෙන දැනුමට මුල්තැනක්‌ දීම භික්‌ෂූන් වහන්සේ ඉදිරියේ තිබෙන අභියෝගයකි. ඒ හේතුවෙන් උන්වහන්සේ සමාජයෙන් දුරස්‌ වෙයි. එම නිසා, බුදුසසුනේ සුරැකුමට වුවමනා ගිහි පැවිදි සබඳකම තහවුරුකර ගැනීම අලුත් උපායමාර්ගයක්‌ සොයන්නට භික්‌ෂූන් වහන්සේ වෑයම් කළ යුතුය. මම අනාවැකි කියන්නෙක්‌ නොවෙමි. නමුත් මා සිදුකරන්නේ දැනට ලෝකයේ පවතින නැඹුරුව අනුව භික්‌ෂූන්ට මුහුණපාන්නට සිදුවන බරපතළ අභියෝගය ගැන මට පෙනෙන හැටියට කෙටියෙන් පැහැදිලි කිරීමයි."

"මෙම තාක්‌ෂණික යුගයේ රටක ජනගහනයෙන් බහුතර පිරිසක්‌ උසස්‌ අධ්‍යාපනය ලබාගනිති. පුළුල් දැනුමක්‌ ලබන්නට වුවමනා කරන දොරටු ඔවුන් සැමටම විවර වී තිබේ. නොයෙක්‌ විෂයන් ගැන ඉමහත් ඥාන සම්භාරයක්‌ ලබාගන්නට ඔවුහු කැමැති වෙති. ලෞකික දේවල් පිළිබඳව පමණක්‌ නොව බුදු දහම පෙන්වා දෙන යථාර්ථය ගැන වුවත් දැනගන්නට වත්මන් පරපුර උනන්දුවක්‌ දක්‌වති. වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් ඔවුන් හුරුවී සිටින්නේ තමන් හදාරණ දේවල් පිළිබඳව විමසා බලමින්, තර්කානුකූලව සසඳමින් කරුණු දැනගැනීමටයි. ප්‍රශ්න කිරීමකින් තොරව යමක්‌ පිළිගන්නට ඔවුන් සූදානම් නැත. සාම්ප්‍රදායික ක්‍රමය දහම් දෙසන භික්‌ෂූන් කෙරෙහි ගෞරවයෙන් නිහඬව සවන් දී සිටින පිරිසක්‌ අනාගතයේ සිටිත්දැයි සිතා බැලිය යුතුය. එමනිසා, භික්‌ෂූන් බුදු දහම ගැන ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට සූදානම් විය යුතුය. භික්‌ෂූන්ට ගිහි ජනයාගෙන් ගරු බුහුමන් ලබාගන්නට හැකිවන්නේ එවිටයි. මනෝ විද්‍යාව, නූතන දර්ශනය වැනි බුදු දහමෙන් බාහිර වූ විෂයයන්ද උන්වහන්සේලා හැදෑරිය යුතුය. ආරාමික අධ්‍යාපන ක්‍රමය තුළ ඒ සඳහා ඉඩක්‌ තිබේද? යන්න වෙනම කරුණකි. කෙසේ වුවද, ඒ සඳහා විසඳුමක්‌ සොයා ගැනීම වගකිය යුත්තන්ගේ කාර්යයකි."

"විසිවන සියවසේදී මෙන් නොව වර්තමානයේ බොදු පොත පත ඉතා බහුලය. බුදු දහම ගැන හැදෑරීමට ඕනෑකමක්‌ ඇති ශිෂ්‍යයකුට මයික්‍රෝ කොම්පියුටරයක්‌ තුළට ත්‍රිපිටකය පමණක්‌ නොව බෞද්ධ පුස්‌තකාලයක්‌ම බාගත කරගෙන තනිවම හදාරන්නට පුළුවන. අන්තර්ජාලය තුළ ද බුදු දහම ගැන දැනුම් සම්භාරයක්‌ ඇත. අන්තර්ජාලයේ මුහුණු පොත ඔස්‌සේ බුදු දහම ගැන ඕනෑම ගැඹුරු ප්‍රශ්නයක්‌ සාකච්ඡා කළ හැකි කණ්‌ඩායම් හමුවිය හැක. එනිසා, ධර්මය හදාරන්නට පෙර පරිදි පන්සලකට, භික්‌ෂුවක වෙත යන්නට වුවමනා නැත. බුදු දහම පිළිබඳව අටුවා, ටීකා ආදී මූලාශ්‍ර ඇසුරෙන් ලබාගත් ඥානය තවදුරටත් භික්‌ෂුවකට පමණක්‌ සීමා වූ සුවිශේෂ දෙයක්‌ නොවේ. විශ්වවිද්‍යාලයන්හි ගිහි වියත්හූ බෞද්ධ දර්ශනය පිළිබඳව පර්යේෂණවල නිරතව සිටිතිs. මෙවැනි පසුබිමක්‌ යටතේ භික්‌ෂූන් වශයෙන් සමාජයට පිරිනමන විශේෂ දායාදය කුමක්‌ද? එය අප ඉදිරියේ තිබෙන ප්‍රශ්නයයි.

" භික්‌ෂූන් වශයෙන් අප ගිහි බොදු වියතුන් සමඟ ධර්මය සම්බන්ධයෙන් තරගයට යන්නට වුවමනා නැත යනු මගේ අදහසයි. අප හැකිතරම් මූලාශ්‍ර ග්‍රන්ථ ඇසුරෙන් ධර්මය ප්‍රගුණ කොට, අවශ්‍ය වුවොත් ගිහි වියතුන්ගෙන් ද දහම් දැනුම ලබාගෙන අපගේ ජීවිත තුළින් බුදු දහම ක්‍රියාවට නැඟිය යුතුයි. ඒ සඳහා සුදුසු පසුබිම් සකස්‌ කොට දෙන්නේ පැවිදි ජීවිතය මගිනි. ග්‍රන්ථ හැදෑරීමෙන් ලබන ධර්ම ඥානයන්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, පරිත්‍යාගය හා ප්‍රායෝගික අභ්‍යාසය ඇසුරෙන් ලබන ඥානයත් මිශ්‍ර කළ යුතුය. ධර්ම ඥානය ඇති ගිහි විද්වතුන් සමඟ අප සතු ප්‍රායෝගික අත්දැකීම් ඔස්‌සේ බුද්ධිමය වශයෙන් අපට එකතු වන්නට පුළුවන. පිළිපැදීමෙන් හා අත්දැකීමෙන් තොර වූ දහම් දැනුමෙන් පමණක්‌ ප්‍රායෝජනයක්‌ නොමැත. (Challenge to the Sangha in 21 st Centuary    - Bhikkhu Bodhi)

පසුගිය කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව තුළ බෞද්ධ ආගමික අන්තවාදයක්‌ ක්‍රියාත්මක වන බවට ලොව පුරා ප්‍රචාරය විය. ආගමික හා ජනවාර්ගික කණ්‌ඩායම්වලින් බෞද්ධයන්ට එල්ලවන අභියෝග මැඬලීම සඳහා ඇතැම් බෞද්ධ සංවිධාන සක්‍රීය වූ බව ප්‍රසිද්ධ කාරණයකි. ශ්‍රී ලාංකික භික්‌ෂුවගේ ප්‍රතිරූපයට එයින් යම් හානියක්‌ සිදුවිය. බුදුසසුන, සිංහල බෞද්ධයන් හා භික්‌ෂූන් ඉදිරියේ පවතින අභියෝග ජය ගැනීමට වගකීම් දරන ආයතන පියවර නොගන්නා විට ඒ වෙනුවෙන් තරුණ භික්‌ෂූන් කම්පනයට පත්වීම පුදුමයක්‌ නොවේ. ජාතීන් හා ආගම් අතර සංහිඳියාවක්‌ ඇතිකිරීම සඳහා නීති පනවන බවට 2015 ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා නියෝජිතයා පොරොන්දු විය. එම නීති දැනට කෙටුම්පත් කෙරෙමින් පවතියි. කෙසේ වුවද, බුද්ධාගමේ ප්‍රමුඛස්‌ථානය ලැබෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාගත අයිතිය අහෝසි කිරීමට කිසිසේත් ඉඩදිය නොහැකිය. ජාතිකත්වය හා බෞද්ධ අයිතීන් ගැන කතා කිරීමට ජාතිවාදය හා ආගමික අන්තවාදය වශයෙන් සලකා දඬුවම් කෙරෙන නීති රිතී පැනවුණොත් භික්‌ෂුවට එය නව අභියෝගයක්‌ වනු ඇත. දේශීය ජාතිය හා බුදු දහම රැකීම සඳහා පෙනී සිටීම ශ්‍රී ලාංකික භික්‌ෂුවගේ සාම්ප්‍රදායික වගකීමකි.
 

Sunday, May 24, 2015

බුදුසසුන ගැන නර්මාපලාප ලියන්නන්ගේ දැනගැනීම පිණිස අනුකම්පාවෙන් ලියන වග නම් .........

මේ ලිපිය ලියන මා බුදු සසුනේ එක් කොටසක් වන උපාසක යන කුලකයට අයත් උවත්, මා එම කුලකයේ කිසිදු සංවිධානයක  කුමන මට්ටමේ හෝ නිලතලයක් ප්‍රතිපත්තියක් වශයෙන්ම භාර නොගෙන ජිවත් වන, එහෙත් විමසුම් ඇසින් සමාජය දෙස බලා සිටින සාමාන්‍ය පුද්ගලයෙක් වෙමි.ඒ අනුව මට සිතෙන දෙය මා ලියන අතරම මගේ කරුණු දැක්වීම සනාථ කිරීමට ඇතැම් විට සමහර අය නම් වලින්ම හැඳින්වීමට සිදුවන නිසා එසේ නම් කරන අයට තම පිළිතුරු ලිවීමට අවශ්‍ය නම් එයටද ඉඩක්  මෙම ලිපියේ  අවසානයේ  වෙන්කර ඇත.
   
අපේ රටේ ක්‍රියාත්මක වෙමින්  පවතින බුදු සසුන යනු භික්ෂු,භික්ෂුණි,උපාසික,සහ උපාසක යන සිව් පිරිසෙන් සැදුනු එකකි. අපේ රටේ ආගමික කටයුතු වලට අදාලව කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම්,හින්දු සහ කිසිදු දහමක් නොඅදහන  නිර් - ආගමිකයන් යනුවෙන්ද සමාජ කණ්ඩායම්  ක්‍රියාත්මක වෙමින් පවතී. මේ විවිධ සමාජ කණ්ඩායම් තම තමන්ගේ තම තමන්ගේ ආකල්ප අනුව තවත් උප කොටස් වලට අනුගත වෙමින් සිටී. මෙහි වැරැද්දක් නැත. තමන් රුචියක් දක්වන උප කුලකය අන් ඒවාට වඩා හොඳයි යනුවෙන් අපහාසාත්මක ලකුණු ප්‍රදර්ශනය නොකරන තාක් කල් එසේ හැසිරීම හොඳය.


මේ එක් එක් කණ්ඩායම් විසින් සිදුකරනු ලබන සමාජයීය යහපත්  කටයුතු වලදී, සමහර අවස්ථා වලදී අන් සමාජ කණ්ඩායම්ද ඒවා අගය කරනු දක්නට ලැබෙයි. සමහර අවස්ථා වලදී ඔවුන්ද ඒවා කිරීමටත් මැදිහත් වෙති.  මේ සෑම සමාජ කටයුත්තක් කිරිමේදී එසැනින්ම ලැබෙන අනිවාර්ය එක් ප්‍රතිඵලයක් වන්නේ එයට සහභාගී වන්නාට ලැබෙන සතුටය. එනිසා එයද හොඳ දෙයකි. සාමාන්‍යයෙන් අද කාලයේ අපට අඩුවැඩි වශයෙන්  දවසේ පැය 24න් වැඩි කොටසක් විවිධාකාර ගැටළු විසඳීමට මිඩංගු කිරීමට  සිදුවීම නිසා, නිරාමිස සතුටක් ලැබීමට කාලයක් ගත  කිරීම යනු අද සමාජයේ දක්නට ලැබෙන දුලබ සිද්ධියකි. 

එහෙත් ගැටලුව එය නොවේ. ගැටලුව වන්නේ සමහරුන්ගේ සිත්තුල ඇති  විවිධාකාර අසත්පුරුෂ පරමාර්ථ ඉටුකර ගැනීමට ඔවුන් පොදුවේ බුදු සසුනට ගැරහීමට පටන්ගෙන තිබිමය. අන් ආගම් වල නැති එහෙත් බුදු සසුනේ ඇති සහනශීලි ප්‍රතිපත්තිය නිසාම බොදු බැතිමතුන් තුල වගාවූ හොඳ පුරුද්දක් වන  අන් මත ඉවසීමට ඇති පුරුද්ද වැරදි ලෙස අර්ථ කථනය කර ගත්  ඔවුන් විසින් blog අවකාශයේ සිදු කරන මේ අකටයුත්තට තිතක් තැබීමේ කාලය පැමිණ ඇත. ඒ මේ ලිපි කියවන සාමාන්‍ය පාඨකයන් ඉන් නොමග යාමට ඇති  නිසාය.

මේ අයගෙන් අන්වර් මනතුංග වැනි සමහරු වැරදි සෙවීමේ පරමාර්ථයෙන්ම බුදුන් වහන්සේ වදාළ ධර්මය මතුපිටින් කියවා, ඉන් සමහර  කොටස් එහෙන් මෙහෙන්  අහුලාගෙන, සමහර කරුණු විකෘති කර, තම මතය සනාථ කිරීමට ඒවා අතරින් පතර සම්බන්ධ කර බුදු දහම ගැන, ධර්මය ගැන,සංඝයා ගැන අමුතුම වැරදි චිත්‍රයක් ලොවට ඉදිරිපත් කරයි. ඔහු එසේ කරන්නේ එක්කෝ ඒවා බලන අයත් අනාගතයේදී මුස්ලිම් දහමට හරවා ගැනීමට හෝ   නැත්නම් ඔවුන් නරක බෞධයන් බවට පත් කිරීමටය. බොදුබල සේනාව ගැන,ඥානසාර හාමුදුරුවන් ගැන දිගින් දීගටම ද්වේශ සහගත අදහස් පල කරන්නෙත්, උන් වහන්සේට භික්ෂුන් වහන්සේ කෙනෙක් නමින් ආමන්ත්‍රණය නොකරන්නේත් එනිසාය. කෙසේ හෝ මුස්ලිම් දහම වැළඳගත් සිංහලයෙකු වන අන්වර්ගේ මෙම පරමාර්ථයේ හොඳ නරක කෙසේ උවත්, ඒ වෙනුවෙන්ම පවත්වාගෙන යන blog එකේ පලවන කරුණු  ගැන පාඨකයන් පලකරන සමහර comments  වාරණය කලත්, ඔහුගේ ඉහතකී පරමාර්ථ ඉටු කරගැනීමට  ඔහු  කරන කැපකිරීම  නම් අගය කල යුතුය. 

නිර්- ආගමිකයන් යයි කියා ගන්නා මාතලන් සහ පැරකුම් සාමාන්‍යයෙන් සැම පොහොය දිනකදීම වාගේ සංඝයා වහන්සේලාට අපහාස වන යමක් නොවරදවාම වාගේ තම blog වල ලියති.හැබැයි මේ අය අනෙක් ආගම් වලට අපහාස කරන්න යන්නේ නම් නැහැ. 

 පුරා වසර 50ක් ම දළදා හාමුදුරුවන්ගේ තේවාව භාරව සිටි අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම බුද්ධ රක්ඛිත නායක හාමුදුරුවන්ට දළදා මාලිගාව යාබද පාර රථ වාහන ගමනාගමනයට විවෘත කිරීමට විරුද්ධ වීමට ඉඩක් නැත් නම් ඒකට ඉඩ තියෙන්නෙ වෙන කාටද? අඩු තරමේ මාතලන් කී  වරක් දළදා තේවාවට සහභාගිවී තිබෙනවාද?  මේ නායක හාමුදුරුවෝ අපවත්වූ විගස, උන්වහන්සේගේ විරෝධය හේතුකොට ගෙන පාර වැසීම නිසා මාර්ග තදබදයක් ඇතිවී තිබෙනවා කියා උන් වහන්සේට අපහාස කිරීමට කවියක් ලිවීමට තරම් මහනුවර පදිංචිවී නැති,මහනුවර මාර්ග දෛනිකව භාවිතා නොකරන  මාතලන් නිහීන වුයේ කෙසේද? (මහනුවර නගරයට නිතරම යන්නෝ නම් මාර්ග තදබදය වලක්වා වාහන ධාවන කරන විකල්ප මාර්ග මැනවින් හඳුනති. ඒවා භාවිතා කරති.) අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක ගලගම අත්ථදස්සි නායක හාමුදුරුවන් එම තනතුරට පත්වූ විගසම මේ පාර විවෘත කිරීමට තමන් වහන්සේගේ විරෝධය ප්‍රකාශ කර ඇත. දැන් මාතලන් මේ නායක හාමුදුරුවෝ ජීවත්වෙලා ඉන්න වෙලාවේදීම උන්වහන්සේගේ ශෝකප්‍රකාශය ලියනවාද ? හැබැයි මේ මාතලන්ට තමයි 2014 හොඳම blog රචකයා වෙනුවෙන් සම්මානය ලැබුනේ. මේ blog අවකාශයට ලියන වැඩිදෙනාගේ බුද්ධි මට්ටම ඒකෙන්ම මැනගත්ත හැකිනෙ.

පැරකුම්ට මෑත කාලයේ ඇතිවූ ලොකුම ප්‍රශ්නය නම් මහමෙව්නා අසපුව විසින් සංවිධානය කල සේරුවිල මංගල මහා සැයේ  පලතුරු පුජාවයි. විවිධ විසිතුරු පිංකම් විවිධ කාල වලදී සංවිධානය කරන සත්පුරුෂ උතුමෝ සිය කාලය එයට මිඩංගු කරති. එය අනුමත කරන විවිධ පුද්ගලයෝ තම කාලය,ශ්‍රමය හා ධනය වැය කරමින් ඒවාට සම්බන්ධ වෙති. එසේ කිරීමට හැකියාවක් නැත්තෝ එම පිංකම් අනුමත කරමින් ඒ පින් අනුමෝදන් වෙති. ඒ කිසිවක් නොකරන පැරකුම් වැන්නෝ ඒවාට අපහාස කරමින් එම පුජාව නිසා සම්පත් නාස්තියක් සිදු උනා යයිද,ඒවා ඒ ප්‍රදේශයේම ළමුන්ට බෙදා දුන්නේ නම් නරකද කියා අතුරු යෝජනාද කරති. මෙසේ ලියන පැරකුම්ට දිනපතාම දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේදී පමණක් මිල අඩු නොවීමෙන් ගැලවීමට  විනාශ කරන එළවලු ටොන් ගණන නොපෙනෙන්නේ කෙසේද?

මේ දෙදෙනාගේම අභාෂය ලබන බොහෝ ආධුනිකයන් තම blog වල ජනප්‍රියතාවය උදෙසා බුදු සසුන ගැන උඩින් පල්ලෙන් කරුණු ගලපාගෙන අපහාසාත්මක ලිපි පළකරති.       

මේ සියලුම දෙනාට මා ඉතා කරුණාවෙන් ලියන්නේ බුදු සසුන  යනු ඔබට අපහාස කිරීමට ලිපි ලියන්න තිබෙන තැනක් නොවන බවය. මෙසේ  ලිවීමෙන් ඔබට කුරිරු සතුටක් ලැබුනත් ඉන් ඔබට ඇතිවන අහිතකර බලපෑම ගැන ඔබ නොදන්නා නිසා එසේ ලියනවා විය හැක.

බුදුන් වහන්සේ වදාළ ධර්ම කොටස් 82,000ක් සහ භික්‍ෂු, භික්ෂුණි යන දෙකොටසටම අයත්  සංඝයා වහන්සේලා විසින් දෙසු ධර්ම කොටස් 2000 ක් එකතුවී මුළු ධර්ම කොටස් 84000කින් යුක්ත ත්‍රිපිටකය ගැන ඔබ අසා ඇතැයි කියා මා සිතනවා. ඒක අන්තර්ජාලයේ තියෙනවා. එහි අංගුත්තර නිකායේ කෝකාලික සුත්‍රය ඔබ කියෙව්වොත් හොඳයි. 
ඒකෙ  අදාළ කොටස මෙහෙමයි " අනුවන තැනැත්තා පාපී වචනයෙන් බැනීම නමැති ආවුධයෙන් තමාවම වනසා ගනී. යමෙක් නින්දා ලැබිය යුතු අයට ප්‍රසංසා කරයිද, ප්‍රසංසා ලැබිය යුතු තැනැත්තාට නින්දා කරයිද,එයින් ඔහු පව් රැස් කරගනී. ඉන් ඔහුට සැපයක් නොලැබෙන්නේය." 

මිට පසු  ඔබ නොවරදවාම කියවිය යුත්තේ අංගුත්තර නිකායේම ඇති ව්‍යසන සුත්‍රයයි. ඒකෙ තිබෙන්නේ මෙසේ බුදු සසුනට ගරහන අයට පහත දැක්වෙන විපත්ති 11න් එකකට හෝ පත්වන බවය.

1.  අවබෝධ නොකළ ධර්මය අවබෝධ කරගත       නොහැකිවීම.
2. මෙතෙක් උපදවූ  ධ්‍යානයක් ඇත්නම් එය නැතිවීම 
3. තමාට දහම් දැනුම දියුණු කරගත නොහැකිවීම.
4. ධර්මය අවබෝධ කළා කියා අධි මානයට පත්වීම 
5. නිවන් මගට සිත් අලවා වාසය කරන්නට නොහැකි වීම.
6.කිලිටි බවට පත් වන අයුරින් යම් සිල් පදයකට හානි පමුණුවා ගැනීම.
7. පැවිද්දෙක් නම් සිවුරු හැර ගිහිවිම.
8. දරුණු රෝගාබාධයක් වැළඳීම 
9. උමතුවිම හෝ සිත වික්ෂිප්ත භාවයට පත්වීම 
10.සිහිමුලාවී මියයාම 
11.මරණින් මතු මහත් දුක් ඇති නිරයේ ඉපදීම.

ඔබ කිසිදු කිසිදු ආගමක් නොඅදහන නිර්-ආගමිකයෙක් හෝ බුදුදහම නොඅදහන්නෙක් නම් මෙයින් 1 සිට 5 දක්වා ඇති විපත්ති  සහ 7 සහ 11 විපත්ති වලින්  යම් කිසි විපතක් උනාට කමක් නැහැ කියල ඔබට සිතෙන්න පුළුවන්.

 ඒ උනත් 8,9,10, යන විපත් වලට ගොදුරුවී මෙලොව අපායක් කර ගත් අය  සහ  6 වැන්නේ දැක්වෙන අන්දමට සිල් පදයක් කැඩීම නිසාම මෙලොව විපතට පත්වූ අය ගැන ඔබ කොතෙකුත් අසා,දැක ඇතිනේද? එවැන්නන් තම  නැ  හිතවතුන්ගෙන්  මෙන්ම තම   පවුලෙන්ද කොන්වීමට සිදු වෙනවාට  අමතරව විවිධාකාර කෙනහිලිකම් වලටත් ගොදුරුවී පිඩා විඳිනවා ඔබ දැක තිබෙනවා නේද? පිළිසරණක් නැතිව එවැන්නන් දුක් විඳිනවා ඔබ දැක ඇති නේද? සමහරවිට එවැන්නන්ට පිහිටවීමට ඔබ සත් භාවයෙන් ඉදිරිපත් උනත් මෙතෙක් එලියට නොපැමිණි නානාවිධ බාධක ඉදිරියට පැමිණ ඔබ එම කටයුත්තෙන් ඉවත් කරනවා ඔබටම පසක්වී නැද්ද? 

ඔබටත් ඉදිරියේදී එවැන්නක් සිදුවෙනවාට ඔබ කැමතිද?  මදක් නැවතී කල්පනා කර බලන්න. ඉන් පසුවත් බුදුසසුනට ගැරහීමට ඔබ අදහස් කරන්නේ නම්, ඉදිරියේදී ලැබෙන අයහපත් ප්‍රතිඵල ගැන දැන ගෙනම බුදු සසුසනට ගැරහීම පටන් ගන්න.

සමරසේකර        

        

Sunday, May 10, 2015

හේතුව නොසොයා දෘශ්‍ය ප්‍රතිඵලය දෙස පමණක් බලා තරුණ භික්ෂුන් වහන්සේලාට ගැරහීම වැරදිය



(ඉහත දැක්වූ චයාරුපය  සහ කවිය උපුටා ගත්තේ 10.05.2015 දින පළවූ ඉරිදා දිවයින පුවත් පතිනි )

වෙසක් සමය තුලදීම  පසුගිය සතියේ බෞද්ධ ලෝකය සසල කල පුවතක් වුයේ විශ්ව විද්‍යාල ප්‍රතිසම්පාන කොමිෂන් සභාව ඉදිරියේ අලජ්ජි ලෙසත්, සහාසික ලෙසත් හැසුරුණු තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සහ එයට පිළිතුරක් ලෙස  පොලිසියෙන් එල්ලවූ  අමානුෂික ප්‍රහාරයයි.  මින් පසු පුරුදු පරිදිම මේ සංඝයා වහන්සේලාට පමණක් නොව පොදුවේ සියලුම සංඝයා වහන්සේලාට අපහාස කරන වෙබ් පිටු පළකිරීම මෙන්ම ඒවායේ පළවූ පාඨකයන්ගේ අපහාසාත්මක අදහස් දැක්වීම්  වලද  අඩුවක් නොවිය. මෙසේ පලකල කරුණු සියල්ලම එයට පාදකවූ හේතුව ගැන කිසිවක් නොසොයා, එහෙත් අවසාන  දෘශ්‍ය ප්‍රතිඵලය දෙස පමණක් බලා කරන ලද, එහෙත් බුදු සසුනට ගැරහීමේ පරමාර්ථය ඇතිවම සිදුකල  ඒවා යයි මට සිතේ. එහෙත් මෙම ලිපිය ලිවීමේ මගේ අදහස වන්නේ  මේ තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සාධාරණ එකක් යයි යන මතයක් ඉදිරිපත් කිරීම නොවේ. එය ඇත්තෙන්ම එයට සහභාගිවූ  තරුණ භික්ෂුන් වහන්සේලා  අලජ්ජි ලෙසත්, සහාසික ලෙසත් හැසුරුණු සමාවක් හෝ අනුකම්පාවක් දිය නොහැකි  පිළිකුල් සහගත හැසිරීමකි. 

එහෙත් මෙම කාරණය කාලය විසින් යටපත් කිරීමට ඉඩ දෙනවා වෙනුවට ගැඹුරින් සාකච්චා කල යුතු වන්නේ තරුණ භික්ෂුන් වහන්සේලාගේ මෙම අලජ්ජි ලෙස හා  සහාසික ලෙස හැසුරුණු සිද්ධිය සිදුවුයේ ලෝක බෞධයන්ගේ සිත් සතන් පහන් කරන  වෙසක් පොහොය සමය තුලදී නිසාමය.  සාමාන්‍යයෙන් පොහොය දිනකදී නිර් ආගමිකයන් යයි කියා ගන්නා අයවලුන් ( මෙම කණ්ඩායමට ඇතැම් වාමාංශික   දේශ පාලන මතිමතාන්තර ප්‍රචලිත කිරීමට උත්සාහ කරන්නෝද වෙති.)   කරන්නේ කරන්නේ බුදුදහමට සහ සංඝයා වහන්සේලාට අපසාහ කරන   වෙබ් පිටු පළකිරීම සහ ඒවාට උල්පන්දම් දෙන   පාඨකයන්ගේ අපහාසාත්මක අදහස් දැක්වීම්ය. අද වනවිට  එම ලිපි වලට ලැබෙන්නේ  ඇල්මැරුණ ප්‍රතිචාර බව දැනගත් මේ අයගේ  ඊළඟ වැයම වන්නේ සරසවි වල ඉගෙන ගන්නා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇවිස්සිමට කටයුතු කිරීමය. 
මේ කාරණය පිටු පස්සේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් මෑතදී බිඳී ගිය කොටසක්වූ පෙරටුගාමින්ය. කවුරුන් හෝ බළල් අතක් ලෙස පාවිච්චි කර තම දේශපාලන අභිලාෂයන් මුදුන් පමුනුවා ගැනීමට යත්න දරන මේ කාලකන්නින් නිසා අද ගම්බදින් විශ්වවිද්‍යාල භුමියට පැමිණෙන වැඩි දෙනා අතරමංවී සිටිති.ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් මෑතදී බිඳී ගිය කොටසක්වූ පෙරටුගාමින් විසින් අන්තරේ නමින් බලියක් අටවාගෙන  සිදු කරන මේ විනාශය අවබෝධ කරගෙන ඇති නාගරික ශිෂ්‍ය ප්‍රජාව නම් මේ තත්වය මැනවින් තේරුම් ගෙන අන්තරේට නවකයන් බිල්ගන්නා මුලික යාන්ත්‍රණය වන නවක වදයට විරුද්ධව "අලයෝ" නමින් සන්විධානවී ඉන් ලැබෙන එකමුතුබව තුලින් ශක්තිය ගෙන තම අධ්‍යාපන අරමුණ ඉදිරියටම ගෙන යති. නාගරික ශිෂ්‍ය ප්‍රජාවට අන්තරේ උගුල් වලට අසු නොවනසේ කටයුතු කිරීමට උපදෙස් දෙන්නේ  විශ්ව වීද්යාලයේ දෙවෙනි සහ  තෙවෙනි  වසරවල් වල ඉගන ගන්නා නාගරික පාසල්වල ආදී  සිසුන් විසිනි.  නමුත් ගම්බදින් සරසවි පැමිණෙන සිසුන් වෙනුවෙන් එවැනි යාන්ත්‍රනයක්  නැත.   

අඩු තරමේ  ගම්බදින් පැමිණෙන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා රැකීමට එවැනි සංවිධානයක් නැති නිසා අන්තරේ නම්වූ මේ  කාලකන්නින්ට බුදු සසුනේ එක කොටසක් වන සග සසුන  තුල වැසිකිලියක් සැදීමට ඉඩ  ලැබී  ඇත. මේ තත්වය මැඩපැවැත් විමට ගතයුතු ක්‍රියා මාර්ග ගැන බෞද්ධයන් ඉක්මනින් සාකච්චා කල යුතු කාලය එළඹ ඇත.

සමරසේකර        
  





































































































































































































atampahura