Tuesday, July 9, 2013

භික්ෂුන් වහන්සේලාට දොස් කියන අය කොටියාම කාපිය


භික්ෂුන් වහන්සේලාට දොස් කියන අය කොටියාම කාපිය ......



අද වනවිට අන්තර්ජාලය තුල භික්ෂුන් වහන්සේලාට දොස් පවරන, අපහාස උපහාස කරන අය පිරිලා ඉන්න  blogs විශාල ප්‍රමාණයක් ඇත. මට වැටහෙන අන්දමට මේ අයවලුන්ට බුදු සසුනට අපහාස කිරීමට මුලිකවූ විවිධ පරමාර්ථ තිබේ. මොවුන්ගෙන්  සමහර අය එසේ කරන්නේ ත්‍රිල් එකක් ගැනීමටය නැත්නම් සතුටක් ලබා ගැනීමටය. ඔවුන් එසේ අපහාස කරන්නේ    අන්තර්ජාලයේ පාඨකයන් අතර තම blog එක ජනප්‍රිය කරගැනීමේ මගක් ලෙසට එම අපහාස යොදා ගැනීමෙන්ය. තවත් සමහර අය ලිපියක් ලියන විට එහි මුලික හරය ඉස්මතු කරලීමට උපකරණයක් ලෙසඅරුතක් ඇතිව හෝ නැතිව  බුදු සසුනට අපහාස කරන වැකි පුරුද්දක් ලෙසටම ඇතුලත් කරති. සමහරු පවසන අන්දමට ඔවුන් නිර්-ආගමිකයෝය.එහෙත් සිරිතක් ලෙසින්ම බුදුන් වහන්සේට සහ බුදු සසුනට අපහාස කරන ලිපි පල කරතත් අන් ආගම් කුමනාකාරක  හෝ මතයන් ඉදිරිපත් නොකරති. තවත් සමහර අයට   තම දේශපාලන සහ ආගමික මතවාදයන් බාධාවකින් තොරව මෙරට තුල ව්‍යාප්ත  කිරීමට ඇති ප්‍රධාන බාධාව ලෙසින් පෙනෙන්නේ බුදු දහම නිසා හික්මුණු ජන වීඥානය භික්ෂුන් වහන්සේලා සහ උන්වහන්සේලාගේ චර්යාවන්ය.  එබැවින් මෙරට ජනයාගේ ජනවිඥානය තුල බුදු සසුනට (භික්ෂු, භික්ෂුනි, උපාසක, උපාසිකා) ඇති ප්‍රමුඛස්ථානයට  හානි කිරීම තරම් ඔවුන්ගේ සිත් ගත්  අන් යමක් නොමැත. සාමාන්‍ය බෞධයන් අබෞධයන් නැතහොත් අන්යාගමිකයන්  කිරීමට නොයෙක් අන්දමට  කටයුතු කරන ඔවුන් බෞධයන් අබෞධයන් කිරීමට තමන්ට  නොහැකි නම් අඩු තරමේ ඔවුන් නරක බෞධයන් කිරීමට හෝ අඛණ්ඩවම ප්‍රයත්න දරති.අද වන විට මෙම මුළු මහත් අපහාසාත්මක ක්‍රියාවලියේ නරක ප්‍රතිඵල එනම් සංඝ සාසනයේ රැඳී සිටින භික්ෂුන් වහන්සේලාගේ අඩුවීම නිසා ලංකික ජනසමාජයට ඇතිවී තිබෙන අයහපත් ප්‍රතිඵල  අපි අත්විඳිමින් සිටිමු.

 මා මෑතකදී අත්විඳි එවැනි  අත්දැකීමක් මෙම ලිපිය සම්පාදනය කිරීමට පාදක කරගන්නේ එම අත්දැකීම ඔබටත් සමීප බවක් ඇතැයි සිතාය. 
  
වසර 35කට  පෙර අපගේ මෑණියෝ මිය පරලොව ගියහ. එතැන් පටන් සිරිතක් ලෙසින්ම සැම වසරකම ජුලි මස 3 දින  දියණියන්  දෙදෙනෙක් සහ පුතුන් 6දෙනෙකු ගෙන් සමන්විතවූ අප පවුලේ සාමාජිකයන් (මා වැඩිමලාය) විසින් එතුමිය සමරා එදින සවසට බන හෝ වරු පිරිතක්  කියා පසු දින සංඝයා වහන්සේලාට දානය දීම කළෙමු. 1983 වසරට නියමිතවූ මෙම වාර්ෂික දානමය  පින් කමට ගමේ නිවසට පැමිණි එක සොහොයුරෙක් හදිසි අනතුරකින් අභාවයට පත්විය. ඉන්පසු  මියගිය මව සහ අකලට මියගිය  සොහොයුරා සිහිපත් කර මෙම පිංකම වාර්ශිකව ජුලි මස 3 දින  පැවැත්වීමු. 1996 වසරේදී අපගේ පිය තුමාද පරලෝ සැපත් වුයෙන් මියගිය මේ තිදෙනාම සමරා අඛණ්ඩවම වසරේ ජුලි මස 3 දින දන් දීම් කළෙමු. දෙමාපියන් විසින් ඉතා දැඩි දුක් විඳිමින් අප අට දෙනාම මැනවින් ඇති දැඩි කළහ.මහත් කැප කිරීම් කරමින් සියලුම දෙනාට අධ්‍යාපනය ලබා දුන්හ.ඔවුන්ට දිය හැකි ඉහලම සැප සම්පත් මෙන්ම ආදරයද අපට ලබා දුන්නෝය. එහි ප්‍රතිඵලක් වශෙයෙන් අප සියලු දෙනාම(අකලට මියගිය  සොහොයුරා හැර) අද දින වන විට සතුටුදායක ජිවන තත්ත්වයන්  භුක්ති විඳිමින් සිටිමු. දෙමාපියන්  සතු සියලුම ඉඩකඩම් මෙන්ම චංචල දේපලද පියාණන් විසින් අප සියල්ලන්ටම සමානව බෙදා දුන්හ. අපට කල මෙම උපකාර වලට ප්‍රතිඋපකාර කිරීමට අද අප කිසිවෙකුට නොහැක්කේ දැනට මව්පියන්  දෙදෙනා ජිවතුන් අතර නැති නිසාය.එබැවින් වාර්ෂිකව ඔවුන් සමරා දන්දී පින් පැමිණවීම හැර අප වෙන කුමක් කරන්නද?  මේ වන විට අප සියලු දෙනාම විවාහවී   ඇති නිසා අප කුඩා කාලයේදී පදිංචිවී සිටි මුල් ගෙදර නොව වර්තමානයේදී අප එක් එක් අයවලුන් පදිංචිව සිටින  ගෙවල් වලදී  මෙම පිංකම කළෙමු. සියලු නෑදෑයන්ටද  ඇරයුම් කළෙමු.මෙසේ මියගිය ඥාතින් සමරා අඛණ්ඩවම දන්දී  පින් පැමිණවීම ගැන පවූලට බැඳෙන නව සාමාජිකයන්ට සහ ළමා ළපටින්ට ආදර්ශයක් දුනිමු.    මෙම පිංකම  ක්‍රම  ක්‍රමයෙන් අපගේ නැදෑයන් මුණගැසීම සිදුවන වාර්ෂික  දිනය බවටද  පත්විය. මෙදින අඩුවැඩි වශයෙන් 200 කට අධික නෑදෑයන් සහ  හිත මිතුරන් පිරිසකගේ සහභාගිත්වයක් සිදුවේ.ගමේ පදිංචිව සිටින නෑදෑයන් වයසින්,වත්පොහොසත් කමින්,උගත් කමින් එකිනෙකාට අඩුවැඩි වශයෙන් වෙනස් උවත් ඔවුන් සියලුම දෙනා සතු එකම එක  සමාන කමක් ඇත.ඒ  නෑදෑකමය. එමනෑදෑකමේ සුහදතාවය අඩුවක් නොමැතිවම ඔවුන් අපට පිදුහ.

  සිරිතක් ලෙසින්  අදාළ  වසරේදී වැඩි ආර්ථික හැකියාවක් ඇති සමාජිකයා   තම කැමැත්තෙන්ම මෙම  දානයට මුලික වන අතර අනෙක් අය තමන්ට පුළු පුළුවන් ලෙස ඊට සහාය වේති. මේ කටයුත්තේදී කිසිම දිනෙක පංගු පේරුවක් හෝ එකිනෙකාට කටයුතු බෙදීමක්  සිදුවූවේ නැත. මා ඇතුළු නංගිලා දෙදෙනා අඛණ්ඩවම මෙම දානයට සහභාගිවූ අතර සමහර වර්ෂ  වලදී සමහර සහෝදරවරු සහභාගී නොවුහ.

පන්සල සහ අපේ පරම්පරාව සමග පවතින යහපත් සම්බන්ධතාවය නිසා අපේ ගෙදර පැවතී ආගමික කටයුතු වලදී කවදත් භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයේ  අඩුවක් දක්නට නොවිය.කොලඹ පළාතේ මෙන් එක ගමක් පන්සල් කීපයක්ම පිහිටියත් අපේ ගම පළාතේ එක ගමකට ඇත්තේ එක් පන්සලක් පමණි. අපේ ගෙදර පැවති  අවමගුල් උත්සව 3 දීම බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඊට සහභාගී වුහ.  ගමේ පන්සලේ අධිපතිත්වයට ළඟ තිබෙන ගම දෙකක පිහිටි පන්සල් දෙකක් සහ දුර ප්‍රදේශයන්හි පිහිටි පන්සල් තුනක් අයිතිය. එබැවින් වාර්ෂිකව සිදු කරන  දානමාන  වලදීද ආරාධනා කල ප්‍රමාණයට වඩා වැඩියෙන් කිහිප නමක්  දානයට වැඩමවීම සාමාන්‍ය සිරිතකි.  අප සාමාන්‍යයෙන් ගමේ පන්සල සමග  මෙන්ම අසපු සමගද යහපත් සබදතා පත්වන බැවින් පසුගිය වසර කිහිපය තුල මෙම දානමය පිංකම කෙරුනේ අසපු තුලය. සිංහලෙන්  ධර්මය පැහැදිලි කිරීමේදී මෙන්ම භික්ෂුන් වහන්සේලාගේ සංවර බවේදීත් අසපු ගමේ පන්සල අබිබවා ගොස් ඇති බව අපට පසක්වූ කරුණ ඊට හේතුව  විය. පෙරදා බන හෝ වරු පිරිතක් කීමේ පුරුද්ද අප නොදැනුවත්වම අපෙන් ඉවත් වූයේ ගෙදරට වැඩමවා  එවැනි බන හෝ වරු පිරිත්  දෙශිමේ සිරිතක් අසපු තුල නැති බැවින්ය. එහෙත් නොකඩවා අසපු තුල දුන් දානයේ කුමක් හෝ ආගන්තුක බවක්  දැනුනු නිසා මෙවර දානය ගමේ පන්සල මුලික කරගෙන  පැවැත් විය යුතු යයි අපි සිතුවෙමු. ලොකු නංගිගේ මුලිකත්වයෙන්  ඇගේ ගෙදරදී හාමුදුරුවරුන් දස නමක් උදෙසා දානය සංවිධානය කළෙමු. දානය දීමට  මෙන්ම පැමිණෙන නෑදෑ හිතවතුන්ට හොඳින් සංග්‍රහ කිරීම වලක්වන  ආර්ථික සහ පරිසර බධාවක්ද නොවිය. වාර්ෂික  දානය සඳහා භික්ෂුන් වහන්සේලා දස නමක් අවශ්‍ය යයි කාලවේලා ඇතිවම නංගි මගින් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ආරාධනය කළෙමු. (පෙරදින ගෙදරදී   බන හෝ වරු පිරිතක් කියවීමේ පුරුද්ද අප නොදැනුවත්වම අපෙන් ගිලිහි ගොස් තිබිණ) 

පෙරදින සවස් වරුවේ පටන් අප සියලු දෙනාම පසුදින දහවල් දානය සංවිධානය කිරීමේ කටයුතු වල යෙදුනෙමු. දානය ඉස්තරම් ලෙසින් දීම ගැන තර්ක විතර්ක ඇති නොවුන නිසා  ප්‍රධාන අඩුපාඩු කිසිවක් නොවිය. සුළු සුළු අඩුපාඩු තිබේදැයි සොයමින් ඒවාට පිළියම් යෙදීම  සහ සහෝදර සහෝදරියන් විසින් දානයට ගෙනා බඩුබාහිරාදිය පිරික්සීම සහ අගය කිරීම වැඩිහිටියන් ඇති කෙරුණු අතර    පව්ලේ කුඩා සාමාජිකයන්ට නම්  එදින  වැඩිහිටියන් මගින් සාමාන්‍යයෙන් සිදුවන   දෛනික අණදීමේ පාලනයෙන් මිදී  එකිනෙකා  සමග සුහදව   සෙල්ලම් කිරීමට ලැබුණු කදිම අවස්ථාවක් විය. කටයුතු   සියල්ලම එය  සැලසුම් කල අන්දමින්ම යහපත්ව සිදුවෙමින් තිබිණ. ගමේ පන්සලේ භික්ෂුන් වහන්සේලා තුන් නමක් වැඩ සිටි අතර,ගමේ  පන්සලට අයත් යාබද ගම්  දෙකේ පන්සල් දෙ කින්  භික්ෂුන් වහන්සේලා එක නමක්  බැගින් දෙනමක්       වඩම්වමා ගැනීමට සහ නගරයේ ඇති පිරිවවෙනින්  භික්ෂුන් වහන්සේලා පස් නමක්  වඩම්වමා ගැනීමට නියමිතව තිබිණ. අතීතයේදී බිම පැදුරු මත කොට්ට අතුරා වැඩ සිටීමට ආසන සකස් කලත්,වර්තමානයදී බොහෝ භික්ෂුන් වහන්සේලාට දෙපා නමා බිම වාඩිවී සිටීම අපහසු යයි අප දන්නා බැවින් හින්ද ගැනීම සඳහා සුව පහසු ආසන (පුටු)සකස් කළෙමු.   පවුලේ සියලු සාමාජිකයන් සතුව  මෝටර් රථ තිබෙන බැවින් ප්‍රවාහන ගැටලුවක්ද නැත.

ගැටලුව මතුවුයේ දහවල් දනයදා පෙරවරු 10.30 ට පමණය. ඒ දානය සඳහා  පිරිවෙනින් වඩම්වමා ගැනීමට නියමිතවූ භික්ෂුන් වහන්සේලා පස් නම දෙනමක්  දක්වා අඩුවූ බැවින්ය. පන්සලේ ලඟදි උපසම්පදාවූ පොඩි හාමුදුරුවන්ගේ පිරිවෙන් යෑම කඩාකප්පල් වන බැවින් උන්වහන්සේටද දානයට පැමිණීමට නොහැකි යයි දැන්වූ හෙයින් දානය දීම සඳහා සිටින භික්ෂුන් වහන්සේලා ගණන  හය නමක් පමණි. ඒ අය අතරින් උපසමපදා ලාභියෙකුට ඉන්නේ ලොකු හාමුදුරුවෝ පමණි. මෙය අපට මහත් ප්‍රශ්නයක් වුයේ   මෙය මෙතෙක් කලක් එනම් වසර 35ක් තිස්සෙම අප මුහුණ නොදුන් ගැටළුවක් විය. දානය සඳහා වැඩමවන භික්ෂුන් වහන්සේලාගේ අතිරික්තයකට  මිස හිගයකට අප මින් පෙර මුහුණදී නැත. කෙසේ හෝ අඩු තරමින් භික්ෂුන් වහන්සේලා දස නමක්වත්  දානයට ලබා දෙන මෙන් අපි ලොකු හාමුදුරුවන්ගෙන් ඇයදීමු.ඒ හැර මේ අවස්ථාවේදී අප වෙන කුමක් කරන්නද? ඉඳිආප්ප බානවා මෙන් ක්ෂණිකව භික්ෂුන් වහන්සේලා බිහි කල හැකිද?

අපගේ ඉල්ලීම පරිදි ලොකු හාමුදුරුවෝ  මහත් වෙහෙසක් දරා තවත් පන්සල් තුනක් දුරකතනයෙන් සම්බන්ධ කරගනිමින් අතිරේක භික්ෂුන් වහන්සේලා  ලබා ගැනීමට උත්සාහ කළහ. ඒ අනුව මා මගේ මෝටර් රථයෙන් දුරබැහැර ඇති ගම්  තුනක පිහිටි පන්සල් තුනකටම  ගියත් ලැබුනේ එක භික්ෂුන් වහන්සේ නමක් පමණි. උන්වහන්සේත් සිය රෝගී තත්වය නිසා එදින විවේකයෙන් සිටීමට තීරණ කර පන්සලේ වැඩ සිටියද අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ වචනයට පිටුපෑමට ඇති අකමැත්ත නිසාම පැමිණීමට තීරණය කල යතිවර  නමක් විය. දැන්  භික්ෂුන් වහන්සේලා දස නමක් සඳහා ආරාධනය කල දානය සඳහා වැඩ  සිටින්නේ භික්ෂුන් වහන්සේලා අට නමක් පමණි. කෙසේ හෝ දානමය කරුණු අවසන් විය.

දහවල් දානයෙන් පසු සියල්ලෝම සාකච්චා කලේ දානයට වැඩමවූ භික්ෂුන් වහන්සේලාගේ ගණන අඩුවීමය.මෙම සාකච්චාවට ලොකු හාමුදුරුවන්ද සම්බන්ධ විය. වර්තමාන ගැටලුව වන්නේ සුසිල්වත් භික්ෂුන් වහන්සේලා සොයා ගැනීම නොව,කුමන හෝ භික්ෂුන් වහන්සේ නමක් දානමාන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම බව ලොකු හාමුදුරුවන් පැහැදිලි කළහ.  ලිපිය දිග වැඩි වන නිසා වරු පිරිත්, සර්ව රාත්‍රික පිරිත්,සමාජයීය කටයුතු, අවමංගල කටයුතු සහ දානමාන කටයුතු වෙනුවෙන් සක්‍රියව සම්බන්ධ වීමට සිටින භික්ෂුන් වහන්සේලාගේ ගණන  වර්තමානයේදී සැලකිය යුතු පරිද්දෙන් අඩුවීම ගැන සාකච්චාවූ සම්පුර්ණ විස්තර නොලියා,එළඹී නිගමන පමණක් දක්වමි.

1. තරුණ භික්ෂුන් වහන්සේලාගේ සිවූරු හැරිම . (2012 වසරේදී පමණක්   
    භික්ෂුන් වහන්සේලා1022ක් සිවුරු හැර ඇත.)

2. වැරදි ආහාර ප්‍රතිපත්තිය එනම් අධික තෙල් සහ අධික පැණිරස ආහාර  
   දානයේදී වැළඳීම නිසා වර්තමානයේදී  වැඩි කොටසක් භික්ෂුන්
   වහන්සේලාගේ ආයු කාලය අවුරුදු 55 සිට 65 දක්වා වීම.

3. අසපුවල වැඩවසන  භික්ෂුන් වහන්සේලා නිවෙස් වලදී සිදු කරන
     දානමාන කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට ඇති අපහසුව.

4.  අලුතින් මහන වන කුල දරුවන්ගේ ගණන සීග්‍රයෙන් අඩුවීම.

5.   වර්තමානයේදී ක්‍රියාත්මක වන පුංචි පවුල රත්තරන් සංකල්පය නිසා
      මහන කිරීමට දරුවන් අඩුවීම  

6 . පන්සලේ තිබෙන දහම් පාසැලේ අධ්‍යාපන කටයුතු අදාළ නොකර
     භික්ෂුන් වහන්සේලා දුර බැහැර නිවෙස් වල දානමය කටයුතු 
     වෙනුවෙන් පන්සලෙන් ඉවතට වැඩමවා ගැනීමට ඇති අපහසුව.

5.  වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ රෝගී තත්වය නිසා පන්සලෙන් 
    බැහැරවීමට ඇති අපහසුව  (වැරදි ආහාර ප්‍රතිපත්තිය එනම් අධික
   තෙල් සහ අධික පැණිරස ආහාර  දානයේදී වැළඳීම නිසා ඇතිවූ රෝගී
     තත්වය)

6. වර්තමානයේදී මිනිසුන් වැඩි වැඩියෙන් තම නිවෙස් වලදී කරන
    දානමාන කටයුතුවල අධික තාවය (විශේෂයෙන් සති අන්ත වල)

මේ තත්වය ඉදිරියටත් නොවෙනස්ව පවතින නිසාත්, එය වෙනස් කිරීමට ගිහි සහ පැවිදි සමාජයේ සඵල කතිකාවතක් තවමත් ඇති නොවීම නිසාත් අනාගතයේදී දානයක් දීම සඳහා භික්ෂුන් වහන්සේ නමක් සොයා ගැනීම අභියෝගයක් වනු ඇත.  දානය දීම සඳහා කෙසේ හෝ මුදල් සහ කාලය සොයා ගත හැකි වුවත් භික්ෂුන් වහන්සේලා හිග නම් සාංගික දානය දෙන්නේ කාටද? බොහෝ දෙනා සිතන්නේ දානමාන කිරීමට ඇති එකම බාධාව මුදල් සහ වැය  කිරීමට කාලයක් නැති බවය. නමුත්  මා නම් දැන් සිතන්නේ පුද්ගලිකව වෙහෙසීමෙන් එම ගැටළු මගහරවා ගත හැකි බවය. අනෙක දැන් දීමෙන් ඉන්පසු සදහටම දුප්පත්වූ අයෙක් ගැන මා අසා නැත. මගේ අත්දැකීම නම් දන්දීමෙන් පසු කුමන මාර්ගයකින් හෝ අතේ  වැඩි වැඩියෙන් මුදල් ගැවසෙන බවය. එහෙත් පුද්ගලිකව වෙහෙසීමෙන්  සංඝයා වහන්සේලාගේ ගණන වැඩි කරගත හැකිද? කල හැකි එකම දෙය නම් ගැමියෙක් තරහ ගිය විට තෝ කොටියාම කාපිය කියා දෙස් තියෙන 
 හැවිල්ල සිහියට නගා භික්ෂුන් වහන්සේලාට දොස් කියන අය කොටියාම කාපිය ......කියා කීම පමණි.












      

       

0 comments:

Post a Comment